සෞදි කුමරිය සැරසූ වෝග් කවරයේ කතාවට විරෝධය
සෞදි කාන්තාවන්ට රිය පැදවීමේ අයිතිය දිනාදීම වෙනුවෙන් සටන් කර සිරගත වූ ක්රියාකාරිනියන් අමතක කර, සෞදි කුමරියක් වාහනයේ සුක්ඛානම අසල වාඩිවී වෝග් සඟරාවේ කවරය සැරසීම සම්බන්ධයෙන් විරෝධයක් මතුවී තිබේ.
ලෝක ප්රකට වෝග් සඟරාවේ මැදපෙරදිග සංස්කරණය වන වෝග් අරාබියා හි ජුනි මස කවරය හා කවරයේ කතාව සැරසීමට එකතුව සිටින්නේ හෆ්යා බින්ට් අබ්දුල්ලාහ් අල් සාවුද් රජ කුමරියයි.
මෝටර් රථයක රියදුරු අසුන මත වාඩිවී, එක් අතකින් සුක්ඛානම අල්ලාගෙන වාහනයෙන් පිටතට පැමිණෙනවා වැනි නිරූපණයක් සහිතව එම කවරයේ ඡායාරූපය ලබාගෙන ඇත.
මෙම මස 24 වැනිදා සිට සෞදි කාන්තාවන්ට මෝටර් රථ ධාවනය සඳහා සෞදි අරාබිය තුළ ඉඩහසර ලැබෙන පරිසරයක මෙම කවරය සහිතව වෝග් අරාබියා ජුනි කලාපය නිකුත් වී තිබේ.
කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් විරෝධය දක්වා ඇති පිරිස් පවසන්නේ සෞදිය තුළ කාන්තාවන්ට රිය පැදවීම තහනම් කළේද එරට රජ පරපුරම බවයි. එහිදී, විවිධ කාන්තා ක්රියාකාරිනියන් වසර ගණනාවක් මුල්ලේ සිදුකරන ලද විරෝධතාවල ප්රතිඵලයක් ලෙස සෞදි රජ පරපුරම එම නීතිය යළි ඉවත් කළ වටපිටාවක, රජ පවුලට සම්බන්ධ කුමරියක්ම මෙවැනි කවරයක් සැරසීම සදාචාර විරෝධී බවට ඔවුන් චෝදනා කරයි.
කෙසේ වෙතත්, මෙම චෝදනා ප්රතික්ෂේප කරන වෝග් අරාබියා ප්රධාන සංස්කාරක පවසන්නේ මෙහිදී අරාබි ලෝකය තුළ කාන්තාව මුහුණදෙන ප්රධාන අභියෝග පමණක් සාකච්ඡාවට බඳුන් කිරීම ඔවුන්ගේ වෑයම වූ බවයි. එහිදී, එම අදහස ඉස්මතු කිරීමට හයිෆා කුමරිය විශාල සහායක් වූ බව සංස්කාරක වැඩිදුරටත් පැහැදිලි කර තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.



