සෝමාලි මුහුදු මංකොල්ලකරුවන් විසින් අත්අඩංගුවට ගෙන තිබූ ඉන්දීය භාණ්ඩ ප්රවාහන නෞකාව බේරාගැනීමට සෝමාලි ආරක්ෂක අංශ සමත්ව තිබේ.
කෙසේ වෙතත්, මංකොල්ලකරුවන් නෞකාව අතහැර වෙරළට පළා යද්දී එම නෞකාවේ සේවය කළ පුද්ගලයන් 11 දෙනාගෙන් 9 දෙනෙකු පැහැරගෙන ගොස් ඇති බව විදෙස් වාර්තා පවසයි.
පසුගිය වසර පහක කාලය තුළ සෝමාලියානු මුහුදු මංකොල්ලකරුවන්ගේ ග්රහණයට හසුවූ තෙවැනි නෞකාව ලෙස අල් කෞසර් නෞකාව සැලකෙයි.
බේරා ගැනුණු කාර්ය මණ්ඩල සාමාජිකයන් දෙදෙනා මුහුදු මංකොල්ලකරුවන්ගෙන් බේරීමට නෞකාවේ තිබූ මෝටර් රථයක සැඟව සිට ඇති බව රොයිටර් පුවත් සේවය පවසයි.
ඉන්දියාව තුළ දැනට සිරගතව සිටින සෝමාලියානු මුහුදු මංකොල්ලකරුවන් 100කට වැඩි පිරිස නිදහස් කරන තුරු මෙම නාවුකයන් පිරිස නිදහස් නොකරන බව මුහුදු මංකොල්ලකරුවන් රොයිටර් පුවත් සේවයට පවසා තිබේ.
සෝමාලියානු හා යේමන මුහුදු තීරයේ මුහුදු මංකොල්ලකෑම් වඩාත් ඉහළ ගිය වසර ලෙස 2011 වසර සැලකෙන අතර, එම වසරේදී පහරදීම් 200කට වැඩි ප්රමාණයක් සිදුව ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.