සිරියාවේ IS ඉස්ලාම් රාජ්‍ය වෙත එල්ල කරන ගුවන් ප්‍රහාර තවදුරටත් වැඩි කිරීමට රුසියාව කටයුතු කර ඇති අතර, එකී ප්‍රහාර අඩාල කිරීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බවද ඔවුන් පවසා තිබේ.
රුසියානු ගුවන් හමුදාව පසුගිය බදාදා දිනයේදී සිය ගුවන් ප්‍රහාර ආරම්භ කළ අතර, ගත වූ පැය 24 තුළ රුසියානු ප්‍රහාරක යානා 20ක්, IS ඉස්ලාම් රාජ්‍ය අන්තවාදීන්ගේ ඉලක්ක 10ක් වෙත දරුණු ප්රහාරයන් එල්ල කර තිබේ.
සිරියාවේ සිවිල් යුද්ධය එරට අරාජික තත්ත්වයකට පත් කළ අතර, මේ තත්ත්වය තුළ ඉස්ලාම් රාජ්‍ය අන්තවාදීන් එරට හිස එසවීම ආරම්භ කළේය.
කෙසේ වෙතත්, සිරියාවේ වත්මන් පාලන බෂර් අල්-අසාද්ගේ ඉල්ලීමට අනුව ඉස්ලාම් රාජ්‍ය අන්තවාදීන් ඉලක්ක කර මෙම ප්‍රහාර සිදුකරන බව මොස්කව් බලඅධිකාරිය පවසයි.
මේ අතර, ඉස්ලාම් රාජ්‍ය අන්තවාදීන්ට ප්‍රහාර එල්ල කරන ඇමෙරිකාව ප්රමුඛ ඒකාබද්ධ සන්ධානය පවසන්නේ රුසියාව ඉස්ලාම් රාජ්‍ය අන්තවාදීන්ට මෙන්ම, අසාද් විරුද්ධ වාදී කණ්ඩායම් වෙතද මෙම ප්‍රහාර දියත් කරන බවයි.