සිරියානු රජයේ හමුදා විසින් කැරලිකරුවන් ග්‍රහණයේ පැවති ඇලෙප්පෝ නගරයේ නැගෙනහිර කලාපයෙන් තුනෙන් එකක බලය සියතට ගෙන ඇති බව විදෙස් වාර්තා පවසයි.
විශේෂයෙන්ම ප්‍රබල ගුවන් ප්‍රහාර හමුවේ බෂර් අල් අසාද්ගේ හමුදා වඩාත් වේගයෙන් ඉදිරියට ඇදෙමින් පවතින අතර, කැරලිකරුවන්ගේ පසුබැසීමද ඒ හා සමානවම වේගවත්ව ඇති බවද කියැවෙයි.
මේ අතර, සිරියානු රජයේ රූපවාහිනිය මෙන්ම, එරට ක්‍රියාත්මක වන නිරීක්ෂණ කණ්ඩායම්ද කියා සිටියේ සකුර් දිස්ත්‍රික්කයේ බලය රජයේ හමුදා අතට පත්වූ බවයි.
මෙම අලෙප්පෝ නගරයේ බලය යළි සියතට ගැනීමේ අරමුණින් සිරියානු හමුදාව සහ මිත්‍ර හමුදා එක්ව පසුගිය සැප්තැම්බර් මාසයේදී ප්‍රධාන මෙහෙයුමක් දියත් කරන්නට විය.
මෙම මෙහෙයුම සමග ඇති වූ දරුණු ගැටුම් හමුවේ කැරලිකරුවන් අත පැවති නැගෙනහිර අලෙප්පෝ නගරයේ විසූ සාමාන්‍ය වැසියන් ඉන් පළා ගොස් තිබුණි.
කෙසේ වෙතත්, ඇමෙරිකාව ප්රමුඛ ඒකාබද්ධ සන්ධානය විසින් සිරියාව විසින් සිදුකරන ප්‍රහාරය හෙළා දැක ඇත. නමුත්, සිරියානු රජය පවසන්නේ මෙම කැරලිකරුවන් අතට බලය යෑම, ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන් අතට බලය යෑම හා සමාන බවයි.
එහිදී, සිරියානු ජනාධිපති බෂර් අල්-අසාද්ගේ සහායට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූටින් සිය ප්‍රහාරය ගුවන් බලය මෙන්ම, මේ වනවිට සුවිශේෂී නාවුක බල ඇණියක්ද මධ්‍ය ධරණී මුහුදට එවා ඇති බවද විදෙස් වර්තා පෙන්වා දෙයි.