සිරියානු ජනපති බෂර් අල්-අසාද් උතුරු කොරියාවේ නිල සංචාරයක් සඳහා සූදානම් වන බව විදෙස් වාර්තා පවසයි.
උතුරු කොරියානු නායක කිම් ජොන්ග්-උන් 2011 වසරේ බලයට පත්වීමෙන් පසුව සිරියානු නායකයෙකු එරට සංචාරය කරන ප්‍රථම අවස්ථාව මෙය ලෙස සැලකෙයි.
කිම් ජොන්ග්-උන් ආසන්න කාලසීමාවේදී සිය විදේශ ප්‍රතිපත්තිය වඩාත් පුළුල් කරමින් සිටින අතර, ඔහු දෙවරක් චීනයේ සංචාරය කරමින් චීන නායකයා හමුවිය. එමෙන්ම, මෙම මස 12 වැනිදා ඇමෙරිකානු නායකයා සමගද සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය.
උතුරු කොරියාවේ මිත්‍ර පාර්ශ්වයේ රාජ්‍යයක් වන සිරියාව මෙම සංචාරයේ සැලසුම සම්බන්ධයෙන් මෙතෙක් ප්‍රකාශයක් සිදුකර නැත.
උතුරු කොරියාව මෙන්ම සිරියාවද රසායනික අවි භාවිතය සම්බන්ධයෙන් බටහිරින් චෝදනා ලැබූ රාජ්‍යයන් වුවත්, එම දෙපාර්ශ්වයම එම චෝදනා දිගින් දිගටම තරයේ ප්‍රතික්ෂේප කරනු ලැබීය.
සිරියාව වෙනුවෙන් පත්වූ නව උතුරු කොරියානු තානාපතිවරයා පත්වීම් ලිපි භාරගන්නා අවස්ථාවේදී ජනපති බෂර් අල් අසාද් මෙම සංචාරය පිළිබඳ ඉඟි පළ කර ඇත.