සිරියාවේ අනාථ කඳවුරක් වෙත පසුගියදා එල්ල කෙරුණු ගුවන් ප්රහාරය යුද අපරාධයක් ලෙස සැලකිය හැකි බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.
මෙම ප්රහාරයෙන් පුද්ගලයන් 28 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබුණි. මේ අතර, සිරියාවේ ඉඩ්ලිබ් ප්රදේශයේ තිබූ කමොවුනා අනාථ කඳවුර වෙත එල්ල කෙරුණු ගුවන් ප්රහාරය සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් පවත්වන ලෙස එම සංවිධානයේ මානුෂීය සම්බන්ධතා පිළිබඳ ප්රධානී ස්ටීවන් ඕ බ්රයන් ඉල්ලීමක් කර තිබේ.
එරට කැරලිකරුවන්ගේ පාලනයේ වූ ප්රදේශයක පැවති මෙම අනාථ කඳවුරට තම හමුදාව ගුවනින් පහර නොදුන් බව සිරියානු රජයේ හමුදා ප්රකාශ කළද, මෙම ප්රහාරය සම්බන්ධයෙන් එරට රජය වෙත චෝදනා එල්ල වී තිබේ.
කැරලිකරුවන් හා රජයේ හමුදා අතර සටන් විරාමය තවදුරටත් දීර්ඝ කිරීමට එකඟතාව පළ වීමෙන් දිනකට පසුව මෙම ගුවන් ප්රහාරය එල්ල වීමද විශේෂත්වයකි.
එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ රුසියාවේ මැදිහත් වීමෙන් ජිහාඩ් නොවන කැරලිකාර කණ්ඩායම් සහ සිරියානු රජය දැඩි සටන් පැවති අලෙප්පෝ නුවර අවට සටන් විරාමයක් ඇති කිරීමට පසුගියදා එකඟතාව පළ කළහ.