සිරියාවට එල්ල වූයේ යැයි කියන රසායනික අවි ප්‍රහාරය මූලික කර ගනිමින් රුසියාව වෙත සම්බාධක පැනවීමක් සම්බන්ධයෙන් G7 රාජ්‍යයන්ගේ අමාත්‍ය කණ්ඩායමට එකඟතාවකට පැමිණීමට නොහැකි වී තිබේ.
ලෝකයේ බලවත් රාජ්‍යයන් 7ක විදේශ අමාත්‍යවරු ඉතාලියේදී රැස්වෙමින් සිරියානු අර්බුදය සම්බන්ධයෙන් පොදු එකඟත්වයකට පැමිණීමට සාකච්ඡා පැවැත්වීය.
සිරියාව හුදෙකලා කිරීමේ අරමුණින් රුසියාව සමග සාකච්ඡා කිරීම සඳහා ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා රුසියානු සංචාරයේ නිරත වීමට පෙර මෙම පොදු එකඟතාවට පැමිණීමට මෙම විදේශ අමාත්‍යවරු උත්සාහ කළ බව විදෙස් වාර්තා පවසයි.
කෙසේ වෙතත්, සිරියානු ජනාධිපති බෂර් අල්-අසාද් බලයේ සිටින තුරු සිරියානු අර්බුදයට විසඳුමක් නොමැති බව මෙම රාජ්‍යයන්හි මතය වී තිබේ.
මේ අතර, රුසියාවේ හමුදා ප්‍රධානීන් ඉලක්ක කරමින් සම්බාධක පැනවීමට බ්‍රිතාන්‍ය ගත් උත්සාහය මෙම සාකච්ඡාවේදී පසෙකට තල්ලු වූ බවද විදෙස් වාර්තා පවසයි.
ඇමෙරිකාව ප්රමුඛව යුරෝපා රාජ්‍යයන් විසින් සිදුකරන රසායනික අවි ප්‍රහාරය සම්බන්ධ චෝදනාව සිරියානු රජය මේ වනවිටත් තරයේ ප්‍රතික්ෂේප කරයි. එරට ඛාන් ෂෙයිකෝන් නගරයට එල්ල වූයේ යැයි කියන මෙම රසායනික අවි ප්‍රහාරයෙන් පුද්ගලයන් 89 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බවට විදෙස් මාධ්‍ය චෝදනා නැගීය.
ඊට ප්‍රතිචාර වශයෙන් ඇමෙරිකානු යුද නැවක සිට කෘස් මිසයිල 59ක් සිරියානු ගුවන් හමුදා කඳවුරක් ඉලක්ක කරමින් එල්ල කෙරුණු අතර, මෙම ප්‍රහාරය රුසියාව දැඩිව හෙළා දැක තිබුණි. රුසියාව සම්බන්ධයෙන් සම්බාධක පැනවීම පිළිබඳ කතාබහ ඇති වූයේ ඉන් අනතුරුවය.