සිරියානු රජයේ ප්‍රහාරක යානයක් ඇමෙරිකාව විසින් වෙඩි තබා බිම හෙළීමත් සමග ඇමෙරිකානු ඒකාබද්ධ සන්ධානයේ ගුවන් යානා වෙත රුසියාව අනතුරු ඇඟවීමක් සිදුකර තිබේ.
ඒ අනුව, රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, "ජාත්‍යන්තර සන්ධානයට (ඇමෙරිකාව ප්රමුඛ ඒකාබද්ධ සන්ධානය) අයත් ඕනෑම ආකාරයක ගුවන් යානයක් හෝ ඩ්‍රෝන යානයක් යුෆරේට්ස් ගංගාවෙන් බටහිර අහසේ ගමන් කළොත් එය ගුවනේ හෝ ගොඩබිම සිටින රුසියානු ගුවන් යානා නාශක බලකායේ නිරීක්ෂණයට ලක්වෙමින්, අපේ ඉලක්කයක් ලෙස ප්‍රහාරයට නතුවිය හැකියි" යනුවෙනි.
එමෙන්ම, මෙම යානය බිම හෙළන අවස්ථාවේදී රුසියාව සමග සන්නිවේදනය කළ බවට ඒකාබද්ධ සන්ධානය සිදුකළ ප්‍රකාශයද රුසියාව විසින් සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කර තිබේ.
රක්ඛා ප්‍රදේශයේ IS ඉස්ලාම් රාජ්‍යයට එරෙහි සටනේදී ඇමෙරිකාවේ සහාය ලබන සටන් කණ්ඩායම් වෙත සිරියාවට අයත් Su-22 වර්ගයේ ප්‍රහාරක යානයක් බෝම්බ හෙලූ බව පවසමින් ඒකාබද්ධ සන්ධානය එම යානය වෙඩි තබා බිම හෙළා ඇති බව විදෙස් වාර්තා පවසයි.
කෙසේ වෙතත්, සිරියාවේ ප්‍රධාන මිතුරා ලෙස කටයුතු කරන රුසියාව මෙම සිදුවීමෙන් දැඩි කණස්සල්ලට පත්ව ඇති අතර, ඔවුන් මෙම කලාපයේ ප්‍රහාර සම්බන්ධයෙන් ඇමෙරිකාව සමග සිදුකරන සන්නිවේදනයට සම්පූර්ණයෙන්ම අත්හිටුවා තිබේ.
මේ අතර, සිරියාව මෙම ප්‍රහාරය හෙළා දකිමින් පවසා සිටියේ එය අතිශයින්ම නින්දිත ප්‍රහාරයක් බවයි. එමෙන්ම, මෙම ප්‍රහාරය හරහා අතිශය භයානක ප්‍රතිවිපාක ඇතිවිය හැකි බවද සිරියාව පවසා තිබේ.