සිරියාවේ ඛේදවාචකය සිය ට්විටර් ගිණුම හරහා ලොවට කියූ සත් හැවිරිදි බානා අල්බේද් දැරියට තුර්කි ජනාධිපති රිසෙප් තයීප් එර්ඩෝගාන් හමුවීමේ වාසනාව උදාවිය.
අන්කාරා නගරයේ ජනාධිපති මන්දිරය වෙත පැමිණි බානා හා ඇගේ සහෝදරයා ජනාධිපතිවරයා සමග එකට හිඳගෙන ජනාධිපතිවරයාගේ ආදරය ලබන ඡායාරූප රැසක් අන්තර්ජාලයට මුසුවී තිබේ.
ඇය සිය ට්විටර් ගිණුමටද එම ඡායාරූපයක් මුසු කරමින් පවසා තිබුණේ එර්ඩෝගාන් මහතා හමුවීම සතුට දනවන කාරණයක් බවයි.
සිරියාවේ ඇලෙප්පෝ නගරයේ කැරලිකරුවන් අතරින් බේරී පැමිණි බානා සහ ඇගේ පවුලේ උදවිය තුර්කිය වෙත රැගෙන ඒම සඳහා ජනාධිපති එර්ඩෝගාන් විශේෂ යානයක් එරටට යවා තිබුණේ මෙම දැරිය සිය ට්විටර් ගිණුම හරහා හෙළිකරන කරුණු මුල්කරගෙනය.
පසුගිය සැප්තැම්බර් මාසයේදී ඇය මෙම ට්විටර් ගිණුම සාදාගෙන තිබූ අතර, ඇලෙප්පෝ නගරයේදී තමාගේ මිතුරියන්ගේ අහිමි වීමේ සිට ඇය මුහුණදෙන දුක්ඛදෝමනස්සයන් සමග සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට මේ දැරිය දරන උත්සාහය ඒ ට්විටර් පිණිවුඩවල දැකිය හැකිවිය.
මේ නිසාම ඇගේ ට්විටර් ගිණුම හඹා එන පිරිස 325,000 ඉක්මවා යාමට වැඩි වේලාවක් ගත නොවූ අතර, හැරී පොටර් කතා රචක ජේ.කේ.රොව්ලින්ග් වැන්නවුන්ද ඒ අතර විය. ඇය මේ දැරිය වෙනුවෙන් ඉලෙක්ට්‍රොනික හැරී පොටර් රීඩරයක්ද යවා තිබුණි.
එමෙන්ම ජනාධිපති එර්ඩෝගාන් හමුවීමෙන් පසුව ඇය කෙටි වීඩියෝවකින් පවසා තිබුණේ, ඇලෙප්පෝ නගරයේ ජීවත්වන දරුවන් වෙනුවෙන් දක්වන දයාව සහ ඒ යුද්ධයෙන් මිදී පැමිණීමට අවස්ථාව ලබාදීම ගැන ස්තූතිය පළ කළාය.