තමා සහ ඇමෙරිකානු ජනපති ඩොනල් ට්‍රම්ප් අතර හෙට (12දා) පැවැත්වෙන සාකච්ඡා සාර්ථක වුවහොත්, මෙම හමුව සඳහා සත්කාරකත්වය දරණ සිංගප්පූරුව ඉතිහාසගත වනු ඇති බව උතුරු කොරියානු නායක කිම් ජොන්ග්-උන් පවසයි.
ඊයේ (10දා) චීනයෙන් කුලී පදනම මත ලබාගත් ගුවන් යානයකින් සිංගප්පූරුව වෙත ළඟා වූ කිම්, සිංගප්පූරු අගමැති ලී සියෑන්ග් ලූන්ග් හමුවූ අවස්ථාවේදී මෙම අදහස් පළ කර තිබේ.
උතුරු කොරියානු නායකයා සමග ඔහුගේ විදේශ කටයුතු අමාත්‍ය රී යොන්ග්-හෝ, ආරක්ෂක අමාත්‍ය නෝ ක්වැන්ග්-චෝල් සහ නැගෙණිය සහ සහායිකාව ලෙස කටයුතු කරන කිම් යෝ-ජොන්ග් මෙම දූත පිරිසේ ප්‍රමුඛත්වය උසුලති.
කිම් රැගත් බෙන්ස් ලිමෝසීන් වර්ගයේ මෝටර් රථය තවත් ආරක්ෂක රථ 20ක පමණ සමග සිංගප්පූරු නගර මධ්‍ය වෙත පැමිණි අතර, ඔහුගේ පෞද්ගලික ආරක්ෂකයන් රථයේ වේගය අඩුවන අවස්ථාවල ඒ දෙපස දිවයන ආකාරයද දැකිය හැකි විය.
එමෙන්ම, මග දෙපස රැස්වී සිටි පිරිස් කිම් රැගත් මෝටර් රථ පෙළපාලිය ගමන් කරන විට ඔහුට අත වනමින් ආචාරය පුදකරන ආකාරයද විදෙස් පුවත් වාර්තා කර තිබුණි.