ස්පාඤ්ඤයේ, ග්‍රැනාඩා නගරයේ, මරිය මව්තුමියගේ පිළිරුව පිහිටි ග්රැඩීන්ස් ඩෙල් ට්රියුන්ෆෝ උද්‍යානයෙහි මුස්ලිම් බැතිමතුන් රාමදාන් උපවාසය අවසන් කරමින් ආගමික වතාවත් සිදුකිරීමෙන් එරට කතෝලිකයන් යම් නොසන්සුන්තාවක් පෙන්වා තිබේ.
විදෙස් වාර්තා පෙන්වාදෙන පරිදි ස්පාඤ්ඤයේ අන්ත දක්ෂිණාංෂික දේශපාලඥයන් මෙන්ම, එම පක්ෂය විසින් කතෝලිකයන්ද රැස්කරවා එම ස්ථානයෙහි යළි කතෝලික ආගමික වතාවත් සිදුකිරීමට සූදානම් වන බවද සඳහන් වෙයි.
මුස්ලිම් බැතිමතුන් පිරිසකගේ සහභාගීත්වයෙන් පසුගිය සෙනසුරාදා විවාදයට තුඩුදී ඇති මෙම යාඥාව සිදුව ඇත්තේ රාමදාන් උපවාසය අවසන් කිරීමෙන් අනතුරුවය.
කෙසේ වෙතත්, මෙම වැඩසටහන සඳහා නගරසභාව මෙන්ම නගරාධිපතිවරයාද අවසර ලබාදී ඇති අතර, නගරවාසීන් එකිනෙකා අතර අන්‍යෝන්‍ය විශ්වාසය හා ඉවසීම ප්‍රගුණ කිරීමද ඔහුගේ බලාපොරොත්තුව වී තිබේ.
නමුත්, මෙම උද්‍යානය එරට කතෝලිකයන් අතර අතිශය පූජනීය ස්ථානයක් ලෙස සැලකෙන බැවින් එරට ප්‍රධාන පෙළේ දේශපාලඥයන් රැසක් ඒ සඳහා විරෝධාකල්පයක් දක්වා ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.
එමෙන්ම, යුරෝපය පුරා සිදුවූ ඉස්ලාම් අන්තවාදී ප්‍රහාර රැල්ලත් සමග යුරෝපීය රාජ්‍යයන් රැසක් තම රටවල ජීවත්වන විවිධ ජනවර්ග අතර විශ්වාසය තහවුරු කිරීම සඳහා දැඩි පරිශ්‍රමයක් දරමින් සිටින අතර, මූලධර්මවාදීන්ගෙන් තොර සාමකාමී වටපිටාවක් යළි යුරෝපය වෙත කැඳවීම සඳහා දැවැන්ත ප්රයත්නයකද නිරතව සිටින බව විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.