ලිබියාවට ඔබ්බෙන් සරණාගත බෝට්ටුවක් මුහුදේ ගිලීයාම හේතුවෙන් එහි ගමන්ගත් සරණාගතයන් 90ක් පමණ මුහුදේ ගිලෙන්නට ඇති බව විශ්වාස කෙරෙයි.
මෙම බෝට්ටුවේ සිට දිවි බේරාගෙන පැමිණි තිදෙනෙකු පවසා තිබුණේ මුහුදේ ගිලුණු වැඩි දෙනා පාකිස්තාන ජාතිකයන් බවයි. එමෙන්ම ලිබියානුවන්ද එහි සිටි බව ඔවුහු පවසා තිබුණි.
මුහුදු මාර්ගයෙන් දකුණුදිග යුරෝපය වෙත ඇතුළු වීම සඳහා උත්සාහ කරන සරණාගතයන්ගේ වඩාත් ජනප්රිය මාර්ගයක් ලෙස ලිබියානු මුහුදු සීමාව සැලකෙයි.
මේ තත්ත්වය තුළ යුරෝපා සංගමය විසින් දැනටමත් තම රටවලට ඇතුළු කරගන්නා සරණාගතයන් අඩු කර ඇති බැවින්, සරණාගතයන්ට යුරෝපය වෙත පැමිණීමට ඉඩ හා පහසුකම් සලසන රටවල් සම්බන්ධයෙන්ද දැඩි අවධානයක් යොමුකර තිබේ.
මේ නිසාම පසුගිය වසරේදී ලිබියානු වෙරළාරක්ෂකයන් සමග ගිවිසුම්ගත වීමටද යුරෝපා සංගමය කටයුතු කළේ, ඔවුන් අත්අඩංගුවට ගන්නා සරණාගතයන් යළිත් ලිබියාවට රැගෙන යන පොරොන්දුව පිටය.