වර්තමානයේදී සමාජ මාධ්‍ය ජාල බොහෝ සෙයින් ප්‍රචලිතව පවතින අතර, ෆේස්බුක් හා ට්විටර් ආදී සමාජ මාධ්‍ය ජාලයක ලියාපදිංචි නොවූවෙකු සොයාගැනීමට නොහැකි තරම් යැයි පැවසීම මුසාවක් නොවේ.
කෙසේ වෙතත්, මේ ආකාරයෙන් සමාජ මාධ්‍ය භාවිත කිරීමේදී ඒවාට අතිශය ඇබ්බැහි වීම හරහා බොහෝ දෙනෙකුට තනිකම පිළිබඳ හැඟීම වැඩිවිය හැකි බව ඇමෙරිකානු විශේෂඥ මනෝ වෛද්‍යවරු කණ්ඩායමක් අනතුරු අඟවති.
ඔවුන් පෙන්වා දෙන්නේ, යම් අයෙකු දිනකට පැය දෙකකට වැඩි කාලයක් සමාජ මාධ්‍යයක් භාවිත කරන්නේ නම් එවැනි පුද්ගලයෙකු සමාජයෙන් වෙන්වීමට ඇති හැකියාව දෙගුණයකින් වැඩිවිය හැකි බව නවතම අධ්‍යයනයකින් ඔප්පු වී ඇති බවයි.
විශේෂයෙන්ම එවැනි සමාජ මාධ්‍ය තුළ අනෙකුත් පුද්ගලයන් තමන්ගේ ජීවිත පිළිබඳව සිදුකරන මානෝමය හුවා දැක්වීම් යමෙකු තුළ ඊර්ෂ්‍යාව වැනි හැඟීම් ඇතිවීමට හේතුවක් වන බවද එම වෛද්‍යවරු පවසති.
ෆේස්බුක් හා ට්විටර්වලට අමතරව වර්තමානයේදී වඩාත් බහුලව භාවිත කරන තවත් සමාජ මාධ්‍ය ජාල රැසක් මෙම අධ්‍යයනය සඳහා යොදාගෙන ඇති අතර, ඉන්ස්ටර්ග්‍රෑම්, ස්නැප් චැට්, ටම්බ්ලර්, පින්ටරෙස්ට් ඉන් කිහිපයකි.
එම විශේෂඥ මනෝ වෛද්‍යවරුන් අවධාරණය කරන්නේ මෙවැනි සමාජ මාධ්‍ය ජාල තුළින් දකින දෙය සැබෑ ලෙසම යමෙකු තුළ සෘණෘත්මක ආකල්පවලට හේතුවක් වන බවක් නොපැවසුවද, එය එක් හේතුවක් විය හැකි බව සිහිතබා ගැනීම වැදගත් බවයි. එනම්, යමෙකු තුළ පවතින හැඟීම් වැඩිදියුණු වීමට සමාජ මාධ්‍ය ජාල තුළ දකින දේ හේතු විය හැකි බවද ඔවුහු පවසති.
පිට්ස්බර්ග් වෛද්‍ය විද්‍යාලයේ ළමා රෝග පිළිබඳ මහාචාර්ය එළිසබෙත් මිලර් පවසන්නේ, "සමාජ මධ්‍ය ජාල භාවිතය සහ සමාජයෙන් වෙන්වී ඇතැයි යන හැඟීම යනදෙක අතරින් මුලින් සිදුවන්නේ කුමක්ද කියන දේ අපිට හරියටම කියන්න බැහැ. නමුත්, සමාජයෙන් හුදකලා වූ බවක් දැනෙන නිසා තරුණ තරුණියන් සමාජ මාධ්‍ය ජාලවලට යොමුවීම සිදුවිය හැකි බව අපට සඳහන් කරන්න පුළුවන්. ඒ වගේම, සමාජ මාධ්‍ය ජාල භාවිතය වැඩිවීම, එහෙමත් නැත්නම් ඊට ඇබ්බැහි වීම හේතුවෙන් සැබෑ ලෝකය තුළ හුදකලාවීම බඳු හැඟීමක් ඇතිවිය හැකියි" යනුවෙනි.
සරලවම පැවසුවහොත් අන්තර්ජාලය තුළ වැඩි කාලයක් ගත කිරීම යනු සැබෑ ලෝකය තුළ ගත කිරීමට ඇති කාලය අඩුවීමක් බව පෙන්වා දෙන එම අධ්‍යයනය, තමාට ආරාධනයක් නොලැබුණු අවස්ථාවල අනෙකුත් මිතුරු මිතුරියන් විනෝද වන අයුරු දැක්වෙන ඡායාරූප හා වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය ජාල තුළින් දැකීමේදී තමා පිටස්තරයෙකු ලෙස දැනෙන හැඟීම වැඩිවන බවද පෙන්වා දෙයි.
මෙම විශේෂ අධ්‍යයනය සඳහා වයස අවුරුදු 19 සිට 32 දක්වා වයස්වල පසුවන 2,000ක පමණ පිරිසක් යොදාගෙන ඇති බව පවසන පිට්ස්බර්ග් වෛද්‍ය විද්‍යාලයේ මහාචාර්ය බ්‍රයන් ප්රිමැක්, තරුණ වැඩිහිටියන් අතර මානසික සෞඛ්‍ය පිළිබඳ ප්‍රශ්න සහ සමාජයෙන් හුදකලාවීම වසංගතයක් මට්ටම දක්වා පැමිණ ඇති නිසා මෙය විශේෂයෙන් අධ්‍යයනය කළ යුතු වැදගත් කාරණයක් බවට පත්ව ඇති බවද අවධාරණය කරයි.
"සයිබර් අවකාශය විසින් ලෝකය එකම ගම්මානයක්, විශ්ව ගම්මානයක් බවට පත්කරන බව කියවුණත්, නවීන ජීවන රටාව මගින් අපව එක්කිරීමකට වඩා වෙන්කරන ප්‍රවණතාවක් පවතිනවා. ඒ වගේම, සමාජයේ හිස්තැන් පුරවන ස්වභාවයක් සමාජ මාධ්‍ය ජාල විසින් පුරවන බව මතුපිටින් පෙනෙන්නට තිබුණත්, අප සිදුකළ අධ්‍යයනයට අනුව සැබෑවටම මිනිසුන් අපේක්ෂා කරන විසඳුම ඒ තුළ නොමැති බව පැහැදිලිවම සඳහන් කළ හැකියි" යනුවෙන් මහාචාර්ය බ්‍රයන් අවසන් වශයෙන් පවසා සිටියේය.