ස්පාඤ්ඤයේ පාලක පක්ෂය වෙත එල්ල වී ඇති දූෂණ චෝදනා හමුවේ එරට අගමැති මරියානෝ රජෝයිට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිපත් වූ විශ්වාසභංගයෙන් ඔහු අද (06දා) පරාජයට පත්විය.
ස්පාඤ්ඤයේ සමාජවාදී පක්ෂ නායක පේඩ්රෝ සාන්චේස් විසින් මෙම විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණි.
පාර්ලිමේන්තුවේදී විශ්වාසභංගයේ ඡන්ද විමසීම පැවැත්වීමට පෙර පේඩ්රෝ පවසා සිටියේ ස්පාඤ්ඤ ප්රජාතන්ත්රවාදී ඉතිහාසයේ නව පරිච්ඡේදයක් සනිටුහන් වන දිනයක් ලෙස මෙම දිනය හැඳින්විය හැකි බවයි.
නූතන ස්පාඤ්ඤ ඉතිහාසයේ විශ්වාසභංග යෝජනාවකින් බලයෙන් පහ කෙරුණු ප්රථම අගමැතිවරයා බවට රජෝයි පත්වන බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.
රජෝයි නියෝජනය කළ පාලක කන්සර්වේටිව් පොපියුලර් පක්ෂයේ නායකයා 2011 වසරේ සිට ස්පාඤ්ඤයේ අගමැති ධුරය හොබවා තිබුණත්, මෙම විශ්වාසභංග විවාදයේ දෙවැනි දිනය වූ අද (01දා) ලැබුණු අනපේක්ෂිත තීරණයත් සමග රජෝයිට මෙන්ම පාලක කන්සර්වේටිව් පක්ෂයටද අතුල් පහරක් එල්ල වී තිබුණි.
මෙම ඡන්ද විමසීමේදී පේඩ්රෝ බහුතරය ආරක්ෂා කරගැනීමට සමත් වූ අතර, කුඩා පක්ෂ ඇතුළුව මන්ත්රීවරුන් 180ක් විශ්වාසභංගයට පක්ෂව ඡන්දය ප්රකාශ කර තිබුණි. විශ්වාසභංගයට විරුද්ධව ඡන්ද 169ක් ලැබී තිබුණු අතර, එක් මන්ත්රීවරයෙකු පැමිණ නොසිටියේය.
ඒ අනුව, ස්පාඤ්ඤයේ නව අගමැතිවරයා බවට පේඩ්රෝ සාන්චේස් පත්වනු ඇති අතර, ඔහුට ස්පාඤ්ඤය ඉදිරියට රැගෙන යාමේ විශාල අභියෝගයක් පැවරෙනු ඇත.
ස්පාඤ්ඤ පාලක පක්ෂයේ අනුග්රහය ලබමින් සිදුවූ වංචා හා දූෂණ පිටුදැකිමින් එහි වගකීම ගැනීමට 63 වැනි වියෙහි පසුවූ අගමැති රජෝයි අපොහොසත්වීම අරමුණු කරගනිමින් මෙම විශ්වාසභංගය ඔහු ඉලක්ක කරමින් ඉදිරිපත් කර තිබුණු බව විදෙස් වාර්තා පවසයි.
ඔහුගේ රජයේ හිටපු භාණ්ඩාගාරික ලුයිස් බර්සීනාස් අල්ලස් ගැනීම, කළු සල්ලි ජාවාරම සහ බදු වංචා සම්බන්ධයෙන් අධිකරණය හමුවේ වරදකරු වෙමින් පසුගියදා වසර 33ක සිර දඬුවමකටද යටත් කෙරිණි.