14 හැවිරිදි දැරියක දූෂණය කර මරා දැමීමේ සිද්ධියට සම්බන්ධ ජර්මනියට අනවසරයෙන් සංක්‍රමණය වූ 20 හැවිරිදි ඉරාක ජාතිකයෙකු යළි ඉරාකයට පළාගොස් සිටියදී අත්අඩංගුවට ගෙන ජර්මනිය වෙත රැගෙන විත් තිබේ.
අලි බෂර් යනුවෙන් හඳුනාගෙන ඇති මොහු සරණාගතභාවය අපේක්ෂාවෙන් ජර්මනිය වෙත පැමිණි අයෙකු වන අතර, සුසෑනා මරියා ෆෙල්ඩ්මන් නමැති 14 හැවිරිදි නව යොවුන් වියේ දැරිය ඔහු අතින් දූෂණය වී මරා දමා තිබුණේ පසුගිය මාසයේදී වෙයිස්බර්ඩන් ප්‍රදේශයේදීය.
මෙම ම්ලේච්ඡ අපරාධයෙන් පසුව ඉරාකයේ කුර්දිස්ථාන් ප්‍රදේශයට පළාගොස් සිටි මොහු පසුගිය සිකුරාදා ඉරාක පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබුණු අතර, ඔහු මෙම අපරාධය සිදුකළ බවට පාපොච්ඡාරණයක්ද සිදුකර තිබූ බව පොලීසිය කියයි.
පසුව මෙම ඝාතකයා නීතිමය කටයුතු සඳහා ජර්මනිය වෙත යළි රැගෙන ඒමට බලධාරීන් කටයුතු කර තිබේ.
ඒ අනුව, ඊයේ (09දා) වෙයිස්බර්ඩන් හි පොලිස් මූලස්ථානය වෙත මොහු මුහුණු ආවරණය කරගත් විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් රැගෙන එන ආකාරය විදෙස් මාධ්‍යවල වාර්තා විය.
ජර්මනිය තුළ ඉරාකය වැනි මැදිපෙරදිග රටවලින් පැමිණෙන සංක්‍රමණිකයන්ට සරණාගතභාවය ලබාදීම සම්බන්ධයෙන් එරට සමාජයේ දැඩි තිගැස්මක් හා කතාබහක් ඇති කළ මෙම ම්ලේච්ඡ සිදුවීම අරභයා මොහු අත්අඩංගුවට ගැනීමට හැකිවීම විශාල භාග්‍යයක් බව එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍ය හෝර්ස්ට් සීහොෆර් පවසා සිටියේය.