වනවාටු රාජ්‍යයේ ජනාධිපති බෝල්ඩ්වින් ලෝන්ස්ඩේල් හදිසි හෘදයාබාධයක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.
මිය යනවිට 67 වැනි වියෙහි පසුවූ බෝල්ඩ්වින් ඇන්ග්ලිකන් පූජකයෙකු බවද කියැවෙයි. ඔහු වනවාටු පැසිපික් දූපත් සමූහයේ ජනාධිපතිවරයා ලෙස 2014 සැප්තැම්බර් මාසයේ සිට බලයේ රැඳී සිටියේය.
වනවාටු ඩේලි පෝස්ට් පුවත්පතට අනුව වනවාටු අගනුවර වන පෝර්ට් විලා හිදී පසුගිය සෙනසුරාදා මධ්‍යම රාත්රියේදී ඇති වූ හදිසි හෘදයාබාධයක් නිසා ඔහු ජීවිතක්ෂයට පත්ව ඇත.
2015 මාර්තු මාසයේදී වනවාටු දූපත් කොදෙව්වට බලපෑ පාම් චණ්ඩ මාරුතය හේතුවෙන් එහි ජීවත් වූ 75,000ක් පමණ වන ජනතාවට උන්හිටි තැන් අහිමි වූ අතර, ජනපති බෝල්ඩ්වින් සිය කොදෙව්වේ ජනතාව යළි නගාසිටුවීම සඳහා දැඩි කැපවීමකින් කටයුතු කරමින් සිටි බවද විදෙස් වාර්තා පවසයි.
එම වසරේම ඔක්තෝබර් මාසයේදී වනවාටු උප ජනාධිපතිවරයා සම්බන්ධයෙන් නැගුණු දූෂණ චෝදනා හමුවේ ජනපති කියා සිටියේ වනවාටු රාජ්‍යයේ පවතින සියලු ආකාර දූෂණ හා වංචා පිටුදැකීමට කටයුතු කරන බවයි.
2016 වසරේ සිදුකළ සංගණනයන්ට අනුව 278,000ක් පමණ ජනතාවක් වෙසෙන වනවාටු දූපත් කොදෙව්වේ, බිස්ලමා, ඉංග්‍රීසි හා ප්‍රංශ යන භාෂාවන් භාවිත වෙයි. එරට දළ දේශීය නිෂ්පාදිතය ඇ.ඩො.මිලියන 773කි.