ලෝකයේ මිල අඩුම ස්මාට් ජංගම දුරකථනය හඳුන්වාදීමට ඉන්දීය දුරකථන නිෂ්පාදන සමාගමක් කටයුතු කර තිබේ.
රින්ගින් බෙල්ස් සමාගම පෙන්වාදෙන පරිදි ඔවුන්ගේ Freedom 251 ජංගම දුරකථනය ඉන්දියානු රුපියල් 251 කට (ඇ.ඩො.3ක් පමණ) වෙළෙඳ පොළට හඳුන්වාදීම ඊයේ (17දා) සිදුව ඇත.
Freedom 251 දුරකථනය මුලින්ම ඉන්දියානු රුපියල් 500කට වඩා අඩු මුදලකට වෙළෙඳ පොළට හඳුන්වාදෙන බව එම සමාගම පවසා තිබුණි.
මෙතරම් අඩු මිලකට ලබාදුන්නද, මෙම දුරකතනය සතුව ගිගාබයිට් 8ක මතක ධාරිතාවක් මෙන්ම පසුපස හා ඉදිරිපස කැමරා ද්විත්වයකින් සමන්විත වීමද විශේෂත්වයකි.
මෙම දුරකථනය ස්මාට් ජංගම දුරකථන වෙළෙඳ පොළ තුළ විප්ලවයක් සිදුකරනු ඇති බව ප්රංශ පුවත් සේවය සමග අදහස් දක්වමින් එම දුරකථන සමාගමේ ප්රකාශකයෙකු පවසා තිබේ.
දැනට මෙම දුරකථනයේ ඇතැම් කොටස් විදේශයන්ගෙන් ආනයනය කර ඉන්දියාවේදී එම කොටස් එකලස් කෙරෙන බවත්, වසරක් තුළ ඒවා ඉන්දියාව තුළම නිෂ්පාදනය කරමින් මෙය ඉන්දියානු නිෂ්පාදනයක් ලෙස තවත් අඩු මිලට ලබාදීමට හැකිවනු ඇති බවත් රිගින්ග් බෙල්ස් දුරකථන සමාගම පවසයි.
තවමත් වසරකටත් අඩු ආයු කාලයක් හිමි මෙම දුරකථන සමාගම මෑතකදී ඉන්දියාවේ මිල අඩුම 4G ස්මාට් ජංගම දුරකථනය හඳුන්වාදුන් දී තිබූ බවද ප්රේස් ට්රස්ට් ඔෆ් ඉන්දියා පවසයි.
ලෝකයේ දෙවැනි විශාලතම ජංගම දුරකථන වෙළෙඳ පොළ සහිත ඉන්දියාවේ බිලියනයකට අධික ජංගම දුරකථන ග්රාහකයන් පිරිසක් සිටිති.