සාමයට කැමති මිනිස් හදවත් සසල කළ ඡායාරූපයකින් පසුගිය සතිය ලෝකයම කැළඹී ගියේ තමාව ඡායාරූපයට නැගීමට ඡායාරූප ශිල්පියෙකු කැමරාව ඔසවන විට තමා වෙත තුවක්කුවක් ඔසවන්නේ යැයි බියෙන් සිරියානු කිරි කැටියෙකු දෑත් ඔසවා යටත් වන දසුනකිනි.
මෙම ඡායාරූපය අන්තර්ජාලය තුළ මිලියන ගණනින් හුවමාරු වී ඇති අතර, සිරියානු යුද්ධයේ මෙන්ම ලොව පුරා පවතින ම්ලේච්ඡ යුධ තත්ත්වයන්ගේ අමානුෂික මුහුණුවරට එය කදිම සාක්ෂියක් වී තිබුණි.
මෙම කිරිකැටි දැරියගේ මුහුණෙන් පිළිබිඹු වූ බිය, කැමරාව ගිනි අවියක් යැය සිතමින් ඒ වෙත දෑස් ඔසවමින්ම බලා සිටින අයුරු, දැක්වෙන මෙම ඡායාරූපය ඔස්මාන් සගිර්ලි විසින් ගනු ලැබූවකි.
මම ටෙලිෆොටෝ ලෙන්ස් එකක් භාවිත කරමින් ඒ ඡායාරූපය ගත්තා. මේ දැරිය සිතුවේ මම ඇය වෙත ගිනි අවියක් දිගුකලා කියලයි. මම ඡායාරූපය ගන්න සැරසෙන විට ඇගේ හැසිරීම දුටුවිට මට එය තේරුණා. ඇය තමාගේ තොල් හපාගනිමින්, ඇස් උඩ යවමින්, දෑත් ඔසවා සිටියා. සාමාන්‍යයෙන් කැමරාවක් දුටුවිට ඇතැම් දරුවන් දුවනවා. තවත් අය තමන්ගේ මුහුණු සඟවා ගන්නවා. තවත් අය සිනහ වෙනවා. නමුත්, ඇය සම්පූරණයෙන්ම මෙය ගිනි අවියක් යැයි සිතුවා. යැයි ඔස්මාන් පවසා සිටියේ සිරියානු යුද්ධයෙන් අනාථ වූවන් රැඳී සිටින කඳවුරකදී මෙය ගත් බවද පවසමිනි. වැඩිහිටියන්ගේ යුද්ධයක තම නිර්දෝෂීභාවය කුඩා දරුවන් තුළින් විද්‍යාමාන වන බව ඔස්මාන් වැඩිදුරටත් පවසයි.