ඉන්දියාවේ දකුණුදිග අන්ධ්‍රා ප්‍රදේශ් හි ගොවි උද්ඝෝෂණයක් වෙත ලොරියක් කඩා වැදීමෙන් පුද්ගලයන් 20කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
චිට්ටූර් දිස්ත්‍රික්කයේ සිදුවන නීතිවිරෝධී වැලි ගොඩදැමීම් සම්බන්ධයෙන් එම පොලිස් ස්ථානය ඉදිරිපිට ගොවීන් පිරිස විරෝධතාව පවත්වමින් සිටි අවස්ථාවේදී මෙම අවාසනාවන්ත සිදුවීමට ඔවුන් මුහුණදී තිබේ.
පොලීසිය පවසන්නේ දැනට සිදුකර ඇති පරීක්ෂණයන්ට අනුව ලොරි රථයේ රියදුරුට රථය පාලනය කරගැනීමට නොහැකි වී මෙම ජන කණ්ඩායම වෙත කඩා වැදී ඇති බවයි.
කෙසේ වෙතත්, එම ප්‍රදේශයේ ජනතාව පවසන්නේ මෙය හිතාමතා සිදුකළ මනුෂ්‍ය ඝාතනයක් බවයි.
ඒ අනුව, මෙම සිදුවීම සම්බන්ධයෙන් වහාම අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙස පළාත් බලධාරීන් නියෝග කර තිබේ.
සිද්ධිය ඇසින් දුටුවෙකු පවසා තිබුණේ මෙම ලොරිය මුලින්ම කාර් රථයක හැපී, පසුව විදුලි කණුවක්ද කඩාගෙන ගොස් මෙම ගොවීන් පිරිස උද්ඝෝෂණය කරමින් සිටි ස්ථානය වෙත කඩා වැදුණු බවයි.
මෙම සිද්ධියෙන් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති අතර ඔවුන් ළඟම ඇති රෝහල් වෙත ඇතුළු කර තිබේ. එමෙන්ම, සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්වූවෙකුට ඉන්දීය රු.ලක්ෂ 5ක වන්දියක් ගෙවීමට ප්‍රාන්ත මහ ඇමතිවරයා දැනටමත් තීරණය කර තිබේ.