ඇමෙරිකාවේ, ලාස් වේගාස් හි සංගීත ප්‍රසංගයක් වෙත විවෘත වෙඩි තැබීමක් සිදුකරමින් ජීවිත 58ක් බිලිගත් ඝාතකයා, ප්‍රහාරයෙන් පසුව එම ස්ථානයෙන් පැනයාමේ සැලසුමක සිට ඇති බව අනාවරණය වෙයි.
මාධ්‍ය හමුවක් කැඳවමින් ලාස් වේගාස් පොලිස් ප්‍රධානී ජෝසෆ් ලොම්බාර්ඩෝ පවසා සිටියේ 64 හැවිරිදි ස්ටෙෆන් පැඩොක්, %රූට් 91 හාවස්ට්^ සංගීත ප්‍රසංගය පැවති භූමිය වෙත ඒ ආසන්නයේ වූ මැන්ඩලේ බේ හෝටලයේ 32 වැනි මහලේ සිට විවෘත වෙඩි තැබීම සිදුකිරීමෙන් පසුව එම හෝටල් කාමරයෙන් පැනයාමට සැලසුම් කර ඇති බවයි.
කෙසේ වෙතත්, මෙම ඝාතකයා ප්‍රහාරයෙන් පසුව පැනයාමේ සැලසුමක සිටියේ යැයි පැවසීමට හේතු දැක්වීමක් පොලිස් ප්‍රධානියා සිදුකර නොතිබුණේ, මේ සම්බන්ධ පරීක්ෂණ තවදුරටත් සිදුවන බැවිනි. නමුත්, ඔහු පැනයාමේ සැලසුමක සිටි බව විශ්වසනීයව තහවුරු කළ හැකි බව පමණක් ඔහු පවසා ඇත.
මෙම ඝාතකයා අතිශය රහසිගත ජීවිතයක් ගතකර ඇති බවද මේ වනවිට හෙළිවී ඇති අතර, ඔහු දශක කිහිපයක් මුළුල්ලේ ගිනිඅවි හා පුපුරණ ද්‍රව්‍ය එකතු කරමින් සිට ඇති බවද ලොම්බාර්ඩෝ පවසයි. නමුත්, ඔහු එසේ ගිනිඅවි එකතු කරමින් ජීවත්වීමට හේතුව අපහැදිලි බවද ලොම්බාර්ඩෝ මාධ්‍යයට පවසා තිබේ.
මේ අතර, ලාස් වේගාස් ප්‍රහාරයෙන් මියගිය පිරිස 59ක් ලෙස මුලින් සඳහන් කෙරුණද, මේ වනවිට නිල දත්ත අනුව එම අගය 58ක් බව කියැවේ. මීට අමතරව, තුවාල ලැබූවන් 527ක් ලෙස සඳහන් වී තිබුණේ රෝගීන් රෝහල් කිහිපයකට ඇතුළත් කිරීම නිසා ඇති වූ ව්‍යකූලත්වයක් නිසා බවද පැවසූ පොලිස් ප්‍රධානියා, තුවාල ලැබූ පිරිස 489ක් බවද තහවුරු කර තිබේ.
මේ අතර, ඝාතකයාගේ පෙම්වතිය බව කියන පිලිපීන ජාතික මැරීලෝ ඩැන්ලී සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට ඇමෙරිකාවට පැමිණ පවසා සිටියේ තම කරුණාබර, නිහඬ පෙම්වතා මෙවැනි මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීම තමාට අදහාගත නොහැකි බවයි.