ලන්ඩනයේ ඉස්ලාමීය ජිහාඩ් ප්‍රහාරයක් එල්ල කළ IS ත්රස්තයන් එම ප්‍රහාරයට යොදාගත් වෑන් රථය වෙනුවට ටොන් හතහමාරක් බර ලොරියක් ඒ සඳහා කුලියට ලබාගැනීමට සැලසුම් කර සිටි බව අනාවරණය වෙයි.
කෙසේ වෙතත්, මෙම ත්රස්තයන් තිදෙනා ඒ සඳහා කුලී මුදල් ගෙවීමේදී අවශ්‍ය ගෙවීම් තොරතුරු නිසි පරිදි ඉදිරිපත් කිරීමට අපොහොසත් වීමෙන් ඔවුන්ට එම ලොරි රථය ලබාගැනීමට නොහැකි වී තිබේ. ඒ වෙනුවට ලන්ඩන් පාලම මතදී සාමාන්‍ය වැසියන් යට කරමින් ඔවුන් ධාවනය කළ වෑන් රථය මෙම ප්‍රහාරය සඳහා යොදාගැනීමට ඔවුන්ට සිදුව තිබේ.
යම් ලෙසකින් ඔවුන් එම දැවැන්ත ලොරිය මේ සඳහා යොදාගත්තේ නම් ඉන් සිදුවීමට තිබූ ජීවිත හානි ප්‍රමාණය අතිශය ඉහළ යෑමට තිබූ බව ආරක්ෂක අංශ වැඩිදුරටත් පවසයි.
වෑන් රථයෙන් සාමාන්‍ය වැසියන් යට කරගෙන පැමිණි ඔවුන් පසුව තමන් ඉදිරියට එන මිනිසුන් වෙත ඉවක් බවක් නොමැතිව තියුණු පිහිවලින් පහරදී තිබුණි.
ඒ සඳහා අඟල් 12ක් දිග පිහි ඔවුන් සඟවාගෙන පැමිණ ඇති බවත්, ඔවුන් පැමිණි වෑන් රථයේ පෙට්‍රල් බෝම්බ තිබී හමුවූ බවත් ස්කොට්ලන්ඩ් යාඩ් පොලීසිය කියයි.
බ්‍රිතාන්‍ය මහ මැතිවරණයට පෙර පසුගිය ජුනි 03 වැනිදා රාත්‍රී 10.00 ට පමණ සිදුවූ මෙම ප්‍රහාරයෙන් පුද්ගලයන් 08 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් විශාල පිරිසක් තුවාල ලැබීය.
මෙම ප්‍රහාරයට පැමිණි ඉස්ලාමීය ත්රස්තවාදීන් වන ඛුරාම් බට්, රෂීඩ් රෙඩවුනේ සහ යූසෙෆ් සාග්බා යන තිදෙනාම පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්වූහ.
මීට පෙර මැන්චෙස්ටර් සංගීත ප්‍රසංගයට එල්ල වූ ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් දින කිහිපයක් ගෙවී යන්නට පෙර සිදුවූ මෙම ප්‍රහාරයද බ්‍රිතාන්‍ය තුළ ආරක්ෂාව දැඩි කිරීමට හේතු විය.
එමෙන්ම, මේ වනවිට තවත් ත්‍රස්ත ක්‍රියාවන්ට සම්බන්ධ හා එවැනි ක්‍රියාවන් සඳහා සූදානම් බවට සැක පිට අවුරුදු 27 සහ 28 යන වයස්වල තරුණයන් දෙදෙනෙකු ස්කොට්ලන්ඩ් යාඩ් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.