ලන්ඩනය ලේ විලක් කරමින් සෙනසුරාදා රාත්‍රියේ ජිහාඩ් ප්‍රහාරයක් එල්ල කළ ත්රස්තයන් දෙදෙනෙකුගේ වගතුග ස්කොට්ලන්ඩ් යාඩ් පොලීසිය විසින් හෙළි කර තිබේ.
ඒ අනුව, මෙම ප්‍රහාරයට පැමිණි එක් අයෙකු පාකිස්ථානයේ උපන් 27 හැවිරිදි ඛුරාම් බට් වන අතර, ඔහු නැගෙනහිර ලන්ඩනයේ, බාර්කින් හි ජීවත් වූවෙකි. මොහු පිළිබඳ පොලීසිය මෙන්ම බුද්ධි අංශ ඇස ගසාගෙන සිටියත් ඔහු අන්තවාදී ප්‍රහාරයක් දියත් කරනු ඇති බවට බුද්ධි තොරතුරක් හඳුනාගැනීමට නොහැකි වීම අවාසනාවකි.
මෙහි නම් හෙළි කර ඇති අනෙක් ත්රස්තවාදියා මොරොක්කෝ-ලිබියානු සම්භවයක් ඇති 30 හැවිරිදි රෂීඩ් රෙඩොවුනේ ය. ඔහුද, නැගෙනහිර ලන්ඩනයේ, බර්කින් ප්‍රදේශයේ ජීවත් වූවෙකි.
තමන් පදවාගෙන පැමිණි වෑන් රථයට යට කරමින් සහ පිහි ඇණුම් සිදු කරමින් මධ්‍යම ලන්ඩනයේදී ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරය සිදුකළ මෙම පුද්ගලයන් දෙදෙනා සහ තවත් ජිහාඩ් ත්‍රස්තයෙකු පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්වුවද, ඒ වනවිටත් ඔවුන් සාමාන්‍ය නිරායුධ වැසියන් 07 දෙනෙකු මරු තුරුලට යවමින්, තවත් 48 දෙනෙකුට තුවාල සිදුකර තිබුණි.
එමෙන්ම, මෙම ප්‍රහාරයෙන් තුවාල ලැබූ 36 දෙනෙකු තවමත් රෝහල් තුළ ප්‍රතිකාර ලබන අතර, ඉන් 18 දෙනෙකුගේ තත්ත්වය බරපතල බවද ලන්ඩන් රෝහල් ආරංචි මාර්ග පවසයි.
ඔවුන් පිහි ඇණුම් සිදුකිරීමට පෙර ලන්ඩන් පාලම මතදී පදිකයන් යට කරමින් ගමන්ගත් වෑන් රථය කුලී පදනම යටතේ ලබාගත් රථයක් බව මේ වනවිට හෙළි වී තිබේ.
එමෙන්ම, මෙම ජිහාඩ් ත්රස්තයන්ගෙන් රෂීඩ් නැමැත්තා ලන්ඩනයේ සූපවේදියෙකු ලෙස කටයුතු කර ඇති අතර, ඔහු රෂීඩ් එල්ඛාඩර් යන නමද භාවිත කර ඇති බවද ආරක්ෂක අංශ විසින් අනාවරණය කරගෙන තිබේ.
මෙම ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානය විසින් භාරගෙන තිබුණි.