බටහිර ලන්ඩනයේ ග්‍රේන්ෆෙල් මහල් නිවාස සංකීර්ණයේ ඇති වූ ගින්න හේතුවෙන් පුද්ගලයන් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, මියගිය පිරිස තවත් වැඩිවිය හැකි බව මෙට්‍රොපොලිටන් පොලීසිය පවසයි.
බදාදා අලුයම් කාලයේදී හටගත් ගින්න අතරතුර පුද්ගලයන් 65 දෙනෙකුගේ දිවි ගලවා ගැනීමට ගිනි නිවන හමුදාවට හැකිවී තිබුණි.
මේ අතර, ලන්ඩන් ගිලන් රථ සේවය පවසන්නේ පිළිස්සුම් තුවාල ලැබූ පුද්ගලයන් 68 දෙනෙකු ලන්ඩනය පුරා රෝහල් 6ක් වෙත ඇතුළත් කළ බවයි. ඉන් 16 දෙනෙකුගේ තත්ත්වය බරපතල බවත්, තවත් රෝගීන් 10 දෙනෙකු තමන් විසින්ම රෝහල් කරා පැමිණ තිබූ බවත් ඔවුහු පවසති.
ගොඩනැගිල්ල තුළ 400 - 600 ත් අතර පිරිසක් වාසය කර ඇති අතර, ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
බටහිර ලන්ඩනයේ මහල් නිවාස සංකීර්ණයක පැතිර ගිය මහා ගින්නෙන් 06ක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පැවසුණත්, ගින්නෙන් සිදුවූ ජීවිත හානි පිළිබඳව තවමත් පැහැදිලි තොරතුරක් වාර්තා නොවෙයි.
කෙසේ වෙතත්, පුද්ගලයන් 50කට ආසන්න පිරිසක් ආසන්න රෝහල්වල ප්‍රතිකාර ලබන බව පමණක් විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
ගින්නෙන් දැවුණු ග්‍රෙන්ෆෙල් ගොඩනැගිල්ලේ මිනිසුන් රැසක් සිරවී සිටි බවත්, ඔවුන් තමන්ගේ දරුවන් බේරාගන්නා ලෙස කෑමොර දුන් බවත් සිද්ධිය ඇසින් දුටුවෝ පවසති.
ලන්ඩන් නගරාධිපතිවරයා පවසන්නේ මුදාගැනීමේ මෙහෙයුම්වලින් විශාල පිරිසක් මුදාගැනීමට හැකි වුවත්, ගණන් නොගැනුණු විශාල පිරිසක්ද සිටින බවයි.
ගින්නෙන් හා මහා දුම්වලාවකින් වැසුණු මෙම ගොඩනැගිල්ල කඩා වැටෙනු ඇති බවටද බියක් පැවතුණත්, මේ වනවිට ගින්න බොහෝ දුරට මැඬපවත්වා ඇති බව ලන්ඩනයේ ගිනි නිවන හමුදාව පවසයි.
(10.00am) - ලන්ඩනයේ මහල් නිවාස සංකීර්ණයක විශාල ගින්නක් හටගෙන ඇති බවත්, ඒ තුළ බොහෝ පිරිසක් සිරවී සිටින බවත් විදෙස් වාර්තා පවසයි.
බටහිර ලන්ඩනයේ, ලැටිමර් වීදියේ, ග්‍රේන්ෆෙල් මහල් නිවාස සංකීර්ණය මෙසේ ගින්නට හසුවීම පිළිබඳව මුලින්ම වාර්තා වී ඇත්තේ එරට වේලාවෙන් අලුයම 01.16 ට පමණය.
මෙම ගින්න නිවීමට ගිනි නිවන හමුදාවේ භටයන් 200ක් පමණ මේ වනවිට යොදවා ඇති බව කියැවෙයි. මෙට්‍රොපොලිටන් පොලීසිය පවසන්නේ ඔවුන් ගින්නට හසුව විවිධ අයුරින් පිළිස්සුම් තුවාල ලැබූ පුද්ගලයන් පිරිසක් බේරාගෙන රෝහල්ගත කළ බවයි.
මේ අතර, ලන්ඩනයේ බී.බී.සී. වාර්තාකරු ඇන්ඩි මූර් පවසන්නේ ගොඩනැගිල්ල සම්පූර්ණයෙන්ම පාහේ ගිනිගෙන ඇති නිසා එය කඩා වැටේදැයි බියක්ද ඇතිව තිබෙන බවයි.
මෙය අතිශය දරුණු සිදුවීමක් ලෙස සලකමින් එම ස්ථානයට ගිනිනිවන රථ 40ක් මේ වනවිට යවා ඇති බව ලන්ඩන් නගරාධිපතිවරයා පවසයි.
සිද්ධිය ඇසින් දුටුවන්ට අනුව ගොඩනැගිල්ල ඉහළ මහලවල සිට විදුලි පන්දම් එළි සහ ජංගම දුරකථනවල එළි දක්නට ලැබෙන බවත්, ඔවුන් තමන් බේරාගන්නා ලෙස සංඥා කළද එම ඉහළ මහල් වෙතද ගින්න පැතිරෙමින් පවතින බවත් කියැවෙයි.
එමෙන්ම, ගොඩනැගිල්ලේ සිට කැබලි කඩා වැටෙන අතර, විශාල පිපිරුම් හඬ මෙන්ම, වීදුරු බිඳෙන හඬ ඇසෙන බවද ඔවුහු පවසති.
මේ තත්ත්වය තුළ අවට සිටින පිරිස් ඈත් කිරීමද, අවට ගොඩනැගිලිවල සිටින පිරිස් ඉවත් කිරීමද සිදුව ඇති බවද මෙට්‍රොපොලිටන් පොලීසිය පවසයි.
මෙම ගොඩනැගිල්ල ගින්නට හසුව ඇති ආකාරය සැතපුම් ගණනාවක් දුරට වුවද දිස්වෙන බවත්, ගොඩනැගිල්ලේ දසවැනි මහලේ සිට පාලනය කළ නොහැකි මට්ටමේ ගින්නක් පැතිර යන බවත් ලන්ඩනයේ බී.බී.සී. වාර්තාකරු පවසයි.
ලන්ඩන් ගිලන් රථ සේවයද මෙම අවස්ථාවට යොදවා ඇති අතර, එම ප්‍රදේශයේ උමං දුම්රිය මාර්ග පද්ධතිය වසා දමා ඇති බවද කියැවෙයි.
මහල් 27කින් යුතු මෙම නිවාස සංකීර්ණයේ නිවාස 120ක් පමණ පවතින බවත්, එහි විශාල පිරිසක් ජීවත් වූ බවත් වාර්තා වෙයි.
VIDEO