ලන්ඩනයේ ග්‍රෙන්ෆෙල් ගොඩනැගිල්ලේ ගින්නට හේතුව සිව්වැන මහලේ නිවස්නයක තිබූ දෝෂ සහිත ශීතකරණයක් බව විශ්වාස කෙරෙයි.
සිවුවැනි මහලේ, 16 වැනි නිවස්නයේ වාසය කළ බිහෙයිලු කෙබේඩේ නමැති ටැක්සි රථ රියදුරාගේ මුළුතැන්ගෙයි ගින්නක් ඇති වී තිබෙන අයුරු දුටුවිගස ඔහු ඒ පිළිබඳව අසල්වාසීන් දැනුම්වත් කර ඇති බව පැවසෙයි.
ඒ අනුව, ඔහු මුලින්ම 14 වැනි නිවස්නයේ වාසය කළ මේරියෑන් ඇඩම් වෙත මෙය දැනුම්දී ඇති අතර ඒ වනවිට වෙලාව අලුයම 12.50 ට පමණ වූ බව ඇය කියයි.
එම අවස්ථාවේදී ඔහුගේ නිවසේ ඇවිලෙමින් තිබූ ගින්න තමා දුටු බවත්, කිසිදු ගිනි ගැනීම් අනතුරු සංඥාවක් නාද නොවුණු බවත් ඇය වැඩිදුරටත් පවසයි.
කෙසේ වෙතත්, ගින්න පිළිබඳ දැනුම්වත් වී විනාඩි 15ක් පමණ ගත වනවිට එය ඉතාමත් වේගයෙන් ගොඩනැගිල්ල පුරා පැතිර යාම සිදුව ඇති අතර, අලුයම 1.30 පමණ වනවිට ගොඩනැගිල්ල ගින්නෙන් වසා ගෙන තිබුණි.
ඉතියෝපියානු ජාතිකයෙකු වන මෙම ටැක්සි රථ රියදුරා ගින්නෙන් දිව ගලවාගෙන ඇති අතර, ඔහු මෙම සිද්ධියත් සමග දැඩි කම්පනයකින් පසුවන බවද සඳහන් වෙයි.
කෙසේ වෙතත්, මේ සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ සිදුවන බව ස්කොට්ලන්ඩ් යාඩ් පොලීසිය පවසයි. මේ වනවිට සිද්ධියෙන් මියගිය පිරිස 17ක් ලෙස නිල වශයෙන් පැවසුණද, අතුරුදන් වූ පිරිස් සමග 100කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්වන්නට ඇති බවද විශ්වාස කෙරෙයි.
අගමැතිනිය පූර්ණ පරීක්ෂණයක් ඉල්ලයි
මේ අතර, මහල් නිවාස ගින්න සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් සිදුකරන ලෙස බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ නියෝග කර ඇති අතර, විනිසුරුවරයෙකුගේ ප්‍රධානත්වයෙන් එම පරීක්ෂණය පැවැත්වෙන බවද ඇය සඳහන් කර ඇත.
මෙවැනි විපත් රට තුළ තවදුරටත් සිදුවිය හැකි බවට ජනතාව අතර කෝපය උත්සන්න වී ඇති පසුබිමක ඇය මෙම අදහස් පළ කර තිබේ.
මේ වනවිට මෙම ගින්නෙන් දිවි බේරාගත් කිසිවෙකුත් තට්ටු නිවාසයෙන් හමුවනු ඇතැයි විශ්වාස කළ නොහැකි බව ගිනි නිවන හමුදාව පවසන අතර,, මියගිය ඇතැම් පුද්ගලයන්ගේ මළ සිරුරු කිසිදින හමු නොවනු ඇති බවත් සඳහන් කරයි.
සිද්ධිය වූ බටහිර ලන්ඩනයට පැමිණි විපක්ෂ නායක ජෙරමි කෝබින් මේ මහා ව්‍යසනය පිළිබඳ සත්‍යය අනාවරණය විය යුතු බව අවධාරණය කළේය.
මෙම සිද්ධියෙන් මේ වනවිට 30 දෙනෙකු පමණ රෝහල් ගතව ප්‍රතිකාර ලබාගත්තද, ඉන් 17 දෙනෙකුගේ තත්ත්වය බරපතල බවද සඳහන් වෙයි.
මෙහිදී මහත් පරිශ්‍රමයක් දරමින් ක්‍රියාකළ ගිනි නිවන හමුදාව පුද්ගලයන් 65 දෙනෙකුගේ ජීවිත බේරාගෙන තිබුණත්, තවත් බොහෝ දෙනෙකු දුමාරයට කොටුවී සිටි බවද ඔවුන් අනාවරණය කර තිබුණි.
ගිනි නිවන භටයන් මේ වනවිට ගොඩනැගිල්ලේ සෑම මහලකම පාහේ සොයාබැලීම් සිදුකළද, ඒ පිළිබඳ පූර්ණ පරීක්ෂණයක් කරමින් මියගිය පිරිස් හඳුනාගැනීම තරමක් කල් ගතවන ක්‍රියාවක් බවද සඳහන් කර ඇත.
පසුගිය බදාදා අලුයම සිදුවූ මෙම ඛේදවාචකය එම මහල් නිවාසයේ තිබූ 120ක් පමණ වන නිවාස අතරින් බොහෝමයක් සම්පූර්ණයෙන්ම ගිනිබත් කර ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.