ඇමෙරිකාවේ ස්ථාන කිහිපයක දැවැන්ත විරෝධතා රැළි පවත්වා තිබුණත්, රිපබ්ලිකන් පක්ෂයේම ප්‍රබලයන් කිහිප දෙනෙකු විරුද්ධ මතයක් දැරුවත්, නව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සංක්‍රමණ තහනමට ඇමෙරිකානුවන් වැඩි පිරිසක් එකඟ බව නවතම මත විමසුමකින් අනාවරණය වෙයි.
Reuters/Ipsos මත විමසුමට අනුව මුස්ලිම් බහුතරයක් වෙසෙන රාජ්‍යයන් 7කින් ඇමෙරිකාව වෙත සිදුවන සංක්‍රමණ තහනම් කරමින් හා එරට සරණාගත වැඩසටහන මාස තුනකට අත්හිටුවා සරණාගතයන් පැමිණීම වළක්වමින් ඩොනල්ඩ් ට්‍රම්ප් ගනු ලැබූ විධායක නියෝගයට ඇමෙරිකානුවන්ගෙන් 49% ක් කැමැත්ත පළ කර තිබේ. එය ප්‍රතික්ෂේප කර ඇත්තේ 41% ක පිරිසක් පමණි.
එමෙන්ම, ඩිමොක්රටික් පාක්ෂිකයන්ගෙන් 53%ක් ට්රම්ගේ නියෝගයට අතිශයින්ම විරෝධයක් දක්වා ඇති අතර, රිපබ්ලිකන් පාක්ෂිකයන් 20%කට අඩුවෙන් එවැනි විරෝධයක් දක්වා තිබේ.
මේ අතර, ට්‍රම්ප්ගේ නියෝගයට අතිශයින්ම කැමැත්ත පළ කරන රිපබ්ලිකන් පාක්ෂිකයන් පිරිස 80%ක් පමණ වෙයි. එමෙන්ම ඩිමොක්රටික් පාක්ෂිකයන්ද 15%ක පමණ පිරිසක් එසේ කැමැත්ත පළ කර තිබේ.
එහිදී, මෙම මත විමසුම සඳහා ඉදිරිපත් කර ඇති පැනයන් මෙසේය.
"මුස්ලිම් බහුතරයක් වෙසෙන රාජ්‍යයන් 7කින් සිදුවන සංක්‍රමණ තහනම් කරමින් හා සරණාගතයන් පැමිණීම වළක්වමින් ජනපති ට්‍රම්ප් ගත් විධායක නියෝගයට ඔබ එකඟවන්නේද? නොවන්නේද?"
"ට්‍රම්ප් නියෝග කර ඇති සංක්‍රමණ තහනම තුළින් ඔබට වැඩි ආරක්ෂාකාරී බවක් දැනේද? අඩු ආරක්ෂාකාරී බවක් දැනේද?"
"ට්‍රම්ප් නියෝග කර ඇති සංක්‍රමණ තහනම තුළින් ත්රස්තවාදයට මුහුණදීම සඳහා ඇමෙරිකාව හොඳ පූර්වාදර්ශයක් දක්වා තිබේද? නරක පූර්වාදර්ශයක් දක්වා තිබේද?"
ඇමෙරිකානු ජනාධිපතිවරණයට පෙර සිටම ඩොනල්ඩ් ට්‍රම්ප් පත්වීම වළක්වාලීමට දැඩි උත්සාහයක නිරත වූ ඇමෙරිකාවේ ප්‍රධාන දහරාවේ මාධ්‍ය කිහිපයක් මෙන්ම, තවත් ප්‍රබල විදෙස් මාධ්‍ය කිහිපයක් තවදුරටත් ලෝකය හමුවේ ට්‍රම්ප් විරෝධී ප්‍රතිරූපයක් ගොඩනගමින් සිටින බවද අමතක නොකළ යුතු යැයි බොහෝ ස්වාධීන මාධ්‍ය පෙන්වා අවධාරණය කරයි.