එදාමෙදා තුර මධ්‍යධරණී මුහුදේ ගිලී මියගිය වැඩිම පිරිස මෙම වසරේදී වාර්තා වන බවත්, සෑම දිනකම පුද්ගලයන් 13ක්, සතියකට 90ක් ලෙස මේ දක්වා පුද්ගලයන් 3,800කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බවත් විදෙස් වාර්තා පවසයි.
මෙසේ මියගිය ලොකු කුඩා මිනිසුන් මැදපෙරදිග හා අප්‍රිකානු කලාපයෙන් අනවසර සංක්‍රමණිකයන් ලෙස බෝට්ටුවල නැගී යුරෝපය වෙත ඇතුළු වීමට උත්සාහ කළ පිරිස්ය.
යුද බිය, අවිනිශ්චිතබව, බලාපොරොත්තුව, ඉසුරු සොයයෑමේ තණ්හාව ආදී අනේකවිධ සිතිවිල මැද දෝලනය වෙමින් ජාවාරම්කරුවන් අතට මුදල් දී පැමිණෙන මිනිසුන් අවසානයේදී ඉමක් කොණක් නොපෙනෙන මහ සයුර මැද කිසිදු හවුහරණක් නොමැතිව අවසන් සුසුම් හෙළන බව කියැවෙයි.
මෙම කාලවකවානුවේදී මිලියන 65ක ජනතාවක් සිය ගම්බිම් අත්හැර ගොස් ඇති අතර, ඉන් තුනෙන් එකක් සරණාගතයන්ය. මෙම අගයන් දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව වාර්තා වන විශාලතම සරණාගත අර්බුදය බව කියැවෙයි. ඒ අනුව සමස්තයත් ලෙස මෙම අගයන් ඇතැම් රටවල සමස්ත ජනගහණයද අභිභවා යයි.
උදාහරණයක් ලෙස මිලියන 21.3ක් පමණ වන සරණාගතයන් ස්විට්සර්ලන්තයේ සමස්ත ජනගහණය වන මිලියන 8.4ත්, ඊශ්‍රායලයේ මිලියන 8.3ත්, නවසීලන්තයේ මිලියන 4.6ත් එක්ව ගත්විට ලැබෙන අගයකි. ඒ අනුව, වර්තමානයේදී ලෝකය මුහුණදෙන සරණාගත අර්බුදය සුළුපටු නොවන බව පැහැදිලිය.