ඇමෙරිකාවේ යුනයිටඩ් එයාර්ලයින් ගුවන් යානයේ සිටි මගියෙකු බලහත්කාරයෙන් එම යානයෙන් පිටතට ඇදගෙන යන වීඩියෝව දැඩි ආන්දෝලනයකට ලක්ව තිබේ.
කෙසේ වෙතත්, මෙම වීඩියෝව සම්බන්ධයෙන් ඇමෙරිකානු මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කර ඇති එම ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරී ඔස්කාර් මුනෝස් පවසා සිටියේ තමන් එම දසුන් දැකීමෙන් කම්පනයකට පත්වුවත්, එම මගියා කලහකාරී මගියෙකු බව පසුව දැනගත් බවයි.
මෙම සිදුවීම සමාජජාල මාධ්‍යවල දැඩිව කතාබහට ලක්වන විට ගුවන් සේවය මීට පෙර පවසා සිටියේ ඔවුන් මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බවයි.
එම වීඩියෝ දසුන්වල මගියෙකු වෙත පැමිණෙන තිදෙනෙකු එම මගියා බලහත්කාරයෙන් ගුවන් යානය තුළ ඇදගෙන යන ආකාරය දැකිය හැකිය.
චිකාගෝ සිට ලුයිස්විල්ලේ දක්වා පියාසර කිරීමට තිබූ යුනයිටඩ් එයාර්ලයින් ගුවන් යානයක මෙම සිදුවීම ඇති වී තිබේ.
තම කාර්ය මණ්ඩලයේ සිව් දෙනෙකුට ඉඩ පහසුකම් සලසාදීම සඳහා යානයේ සිටි මගීන් සිව් දෙනෙකු ඉවත් කිරීමට ඔවුන්ට අවශ්‍යව පැවති බව දැනගන්නට ලැබේ.
කෙසේ වෙතත්, ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියාගේ ප්‍රකාශයෙන් පසුව සමාජජාල මාධ්‍ය තවත් කැළඹී ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.