ඔස්ට්‍රේලියාවේ, මෙල්බර්න් නුවර අත්හැර දමා තිබූ කර්මාන්ත ශාලාවක ඇති වූ සැකකටයුතු ගින්නකින් පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඊයේ රාත්‍රියේ සිදුවූ මෙම ගින්න මැඬපැවැත්වීම සඳහා ගිනි නිවන හමුදාවද කැඳවා තිබුණු අතර, ඔවුනට ගින්න පාලනය කරගැනීමට පැයකට ආසන්න කාලයක් ගත වූ බව කියැවෙයි.
අවසානයේදී ඒ තුළ තිබී පුද්ගල මළ සිරුරු තුනක් සොයාගැනීමට හැකිවී ඇති අතර, මියගිය පුද්ගලයන් තිදෙනාගෙන් එක් අයෙකු කාන්තාවක බවද මාධ්‍ය වාර්තා පවසයි.
මෙම අත්හැර දැමූ කර්මාන්ත ශාලාව ඇතැම් අවස්ථාවල නිවාස නොමැති මිනිසුන් තාවකාලික නවාතැනක් ලෙස යොදාගෙන ඇති බවද සඳහන් වෙයි.
සිද්ධිය ඇසින් දුටුවන් පවසා සිටියේ මෙම කර්මාන්ත ශාලාව තුළින් මර ලිතෝනියක් ඇසුණු බවයි. ඉන් සුළු වේලාවකට පසුව විශාල ගින්නකින් කර්මාන්ත ශාලාව වැසී ගිය බවත් ඔවුහු පවසා තිබේ.
මේ සම්බන්ධයෙන් මෙල්බර්න් පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවන බව සඳහන් වෙයි.