උතුරු ඉන්දියාවේ හිමාලය කඳුකරය ආශ්රිත ස්පිටි නිම්නයේදී පොළොව මට්ටමින් මීටර් 4,440ක් ඉහළින් ලොව උසම හුදකලා තැපැල් කන්තෝරුව හමුවෙයි.
හික්කිම් ගම්මානයේ වූ මේ කුඩා තැපැල් කන්තෝරුව ඒ ආශ්රිත තවත් කුඩා ගම්මාන කිහිපයක් සෙසු ලෝකය හා යා කරන එකම සන්නිවේදන ආයතනය යැයි පැවසීම මුසාවක් නොවේ.
ඒ ගම්මානවල ජීවත්වන ජනතාව මෙම තැපැල් කන්තෝරුවට පැමිණෙන්නේ ලිපියක් තැපැල් කිරීමට හෝ තම බැංකු පොත්වල සොච්චම් මුදලක් තැන්පත් කිරීමටය.
එමෙන්ම, හිමාලය සංචාරය කිරීමට පැමිණෙන බොහෝ සංචාරකයන්ද පොළොව මට්ටමේ උසම තැපැල් කන්තෝරුවේ සිට තම ඥාති හිතමිත්රාදීන්ට තැපැල් පතක් හෝ ලිපියක් යැවීමට අමතක කරන්නේ නැත.
වර්ෂ 1983 දී මෙම තැපැල් කන්තෝරුව බිහිවූ දා සිට එහි තැපැල් ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කරන්නේ රින්චෙන් චෙහෙරින්ග් ය.
කෙසේ වෙතත්, මෙම තැපැල් කන්තෝරුවට පැමිණෙන ලිපි ගම්මාන වෙත බෙදාහැරීම පහසු කාර්යයක් නොවන අතර, බොහෝවිට ඒ දුෂ්කර ගිරිදුර්ගවල පයින්ම ලිපි රැගෙන යාමට ඔවුන්ට සිදුවෙයි.
එමෙන්ම, සීත සෘතුව උදාවෙත්ම මෙම ප්රදේශයට ඇද හැලෙන අධික හිම පතනය නිසා එම කාලයේදී තැපැල් කන්තෝරුව වසා දැමීමට රින්චෙන් ස්ථානාධිපතිවරයා කටයුතු කරයි.
තැපැල් සේවකයන් දෙදෙනෙකු දිනකට කිලෝමීටර් 46ක දුරක් ලියුම් බෙදීමේ කාර්යයේ නිරත වන බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කරයි.