දකුණු සුඩානය, නයිජීරියාව, යේමනය සහ සෝමාලියාව යන රටවල මිලියන එකහමාරක් පමණ වන දරුවන් ආහාර නොමැතිව හාමතේ සිටින බව එක්සත් ජාතීන්ගේ ළමා ඒජන්සිය හෙවත් යුනිසෙෆ් ආයතනය අනතුරු අඟවයි.
මෙම කලාපයේ පවතින ගැටුම් හා යුද්ධ හේතුවෙන් මෙම ප්රශ්නය ඔඩුදුවා ඇති බව එක්සත් ජාතීන්ගේ සහකාර මහ ලේකම් ජස්ටින් ෆෝර්සිත් පවසා සිටියි.
ඔහු පෙන්වා දෙන්නේ මෙම කලාපය තුළ මිලියන 1.4ක් පමණ වන දරුවන් ආහාර නොමැතිව සිටින නිසා යුහුසුළුව යමක් නොකළහොත් ඔවුන් ජීවිතක්ෂයට පත්වීමේ අවදානමක් පවතින බවයි. දැනටමත් මේ ප්රදේශ ආශ්රිතව දරුවන් විශාල පිරසක් ජීවිතක්ෂයට පත්ව ඇති බවද හෙතෙම පවසයි.
මෙය සම්පූර්ණයෙන්ම මිනිසා විසින්ම ඇති කරගත් සිද්ධියක් බවත්, විවිධ ගැටුම් තත්ත්වයන් හා යුද්ධ මීට මූලික හේතුව බවත්, ඇතැම් ප්රදේශවල පවතින නියං කාලගුණික තත්ත්වයද මීට හේතුවක් බවත් හෙතෙම පෙන්වා දෙයි.
මෙම ප්රදේශ වෙත ඇතුළු වීමට අවසර ලබාදෙන්නේ නම් ආධාර කණ්ඩායම්වලට වහාම ක්රියාත්මක වීමට හැකි බවද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහකාර මහ ලේකම්වරයා වැඩිදුරටත් අවධාරණය කරයි.