බ්‍රිතාන්‍ය මහ මැතිවරණයේ ප්‍රතිඵලය කවරක් වුවද, බ්‍රිතාන්‍යය යුරෝපා හවුලෙන් ඉවත්වීමේ බ්‍රෙක්සිට් ක්‍රියාවලිය කලින් සැලසුම් කළ පරිදි ඉදිරියට යාම සඳහා බාධාවක් නොදකින බව ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මර්කෙල් පවසයි.
බ්‍රිතාන්‍ය මහ මැතිවරණ ප්‍රතිඵල නිකුත් වීමෙන් අනතුරුව ප්‍රථම වරට සිය හඬ අවදි කරමින් මර්කෙල් පවසා සිටියේ ඒ හා සම්බන්ධ කාලසටහනට අනුව බ්‍රිතාන්‍ය කටයුතු කරනු ඇතැයි තමන් විශ්වාස කරන බවයි.
බ්‍රෙක්සිට් සාකච්ඡා එලඹෙන ජුනි 19 වැනිදා ඇරඹීමට නියමිතව පවතී.
කෙසේ වෙතත්, මින් අනතුරුවද බ්‍රිතාන්‍යය යුරෝපා හවුල සමග තවදුරටත් සමීප සහකරුවෙකු ලෙස කටයුතු කරනු ඇතැයි තමා අපේක්ෂා කරන බවද ජර්මානු චාන්සලර්වරිය වැඩිදුරටත් පවසා සිටියාය.
බ්‍රිතාන්‍යය යුරෝපා හවුලෙන් ඉවත්වීමේ ක්‍රියාවලිය සඳහා මුහුණ දීමට තම දෑත් ශක්තිමත් කරන ලෙස ඉල්ලමින් අගමැතිනී තෙරේසා මේ සිය මැතිවරණ ව්‍යාපාරයට මුහුණ දුන්නාය.
කෙසේ වෙතත්, පසුගියදා අවසන් වූ මහ මැතිවරණයේදී කන්සර්වේටිව් පක්ෂයට පැවති ආසන 13ක්ද අහිමි වී ගිය අතර, මේ තත්ත්වය තුළ බ්‍රෙක්සිට් ක්‍රියාවලිය අනතුරට පත්වනු ඇති බවට කතාබහක් ඇති විය.
මැතිවරණයෙන් පැහැදිලි බහුතරයක් ලබාගත නොහැකි වුවද මෙම අභියෝගාත්මක අවස්ථාවේදී උතුරු අයර්ලන්ත ඩී.යූ.පී. පක්ෂයේ සහාය ලබාගෙන රජයක් පිහිටුවීම සඳහා තේරේසා මේ සූදානමින් සිටියි.