බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර පදිංචිකාරියක වන අවුරේලී කාර්ඩන් පවසන්නේ තමන් ආයේ කිසිම දවසක උමං දුම්රියක නොයන බවයි. බොහෝ විට තමන් බෙල්ජියම අතහැර යෑමට ඉඩ තිබෙන බවද වරෙක ඇය කියයි.
මේ පසුගියදා පුද්ගලයන් 34 දෙනෙකුට මරු කැඳවමින්, 250කට වැඩි පිරිසකට තුවාල සිදුකරමින් බ්‍රසල්ස් නුවරට එල්ල වූ ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන්ගේ බෝම්බ ප්‍රහාරයකට ගොදුරුව රෝහල් ගතව සිටින තැනැත්තියක කියන කතාවකි.
බ්‍රසල්ස් මෙට්‍රෝ උමං දුම්රිය මාර්ගයේ බෝම්බයෙන් ඇගේ එක් ඇසකට තුවාල සිදුවූ අතර, බෝම්බයේ ගිගිම් හඬින් කන් අඩි පිපිරීම නිසා මේ වනවිට ඇය ශ්‍රවණාබාධිත තත්ත්වයටද පත්ව සිටී.
"තවත් මේ වගේ ප්‍රහාර එල්ල වෙන්න පුළුවන්. ඒ නිසා ආයෙ කිසිම දවසක උමං දුම්රිය පාවිච්චි නොකරන්න ක්‍රමයක් මා සොයාගත යුතුයි. ඇතැම් විට පාපැදියක් හෝ යතුරුපැදියක් ගන්න වෙයි" ෆේස්බුක් හරහා රොයිටර් පුවත් සේවය වෙත ඇයට අදහස් දැක්වීමට සිදුවූයේ මේ වනවිට ඇගේ කන් ඇසීම බොහෝ සෙයින් අඩුවී ඇති නිසාය.
යුරෝපා සංගම් හා නේටෝ මූලස්ථාන පිහිටි බ්‍රසල්ස් නගරයට එල්ල වූ මේ ප්‍රහාරය සමස්ත යුරෝපයටම එල්ල වූ ප්‍රහාරයක් ලෙස ප්‍රංශ ජනපති හොලන්දේ පවසන විට, මෙය ලෝකයටම එල්ල වූ ප්‍රහාරයක් බව බොහෝ රාජ්‍ය නායකයන් පවසා තිබුණි.
කෙසේ වෙතත්, ප්‍රහාරයෙන් තුවාල ලැබූ කාර්ඩන් එසේ පැවසුවද, බ්‍රසල්ස් නුවර බොහෝ වැසියන් පවසන්නේ ඉස්ලාමීය අන්තවාදී ත්රස්තවාසයේ ආඥාදායකත්වයට තමන් හෝ තම රට කිසි ලෙසකින්වත් යටත් නොවන බවයි. ප්‍රහාරයෙන් දිනකට පසුව ඔවුන් බ්‍රසල්ස් නගර මධ්‍යයේ මල් කළඹ තබමින්, ඉටිපන්දම් දල්වමින් සිය ඥාති හිතමිත්‍රාදීන් සිහිකරන්නට විය.