පුද්ගලයන් 224 දෙනෙකු සමග පසුගිය සෙනසුරාදා කඩා වැටුණු රුසියානු මගී ගුවන් යානයේ බෝම්බ පිපිරීමක් සිදුවී යැයි යන මතයට එරෙහිව රුසියාව හා ඊජිප්තුව අවවාදාත්මක කරුණු දැක්වීමක් සිදුකර තිබේ.
රුසියාව පවසන්නේ මෙවැනි අදහස් හුදු අනුමානයන් පමණක් බවයි. මේ අතර, ඊජිප්තුව අවධාරණය කරන්නේ එවැන්නක් සනාථ කිරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි මෙතෙක් ලැබී නොමැති බවයි.
ඇමෙරිකාව හා බ්‍රිතාන්‍ය විසින් බුද්ධි අංශ වාර්තා උපුටා දක්වමින් මෙම යානයේ බෝම්බ පිපිරීමක් සිදුවන්නට ඇති බව මීට පෙර පවසා සිටියේය.
එමෙන්ම, අනතුරට පත් යානය ගමන් ඇරඹූ ඊජිප්තුවේ සිනායි අර්ධද්වීපයේ ෂාම් එල්-ෂෙයික් වෙත සිදුකෙරෙන ගුවන් ගමන්ද බ්‍රිතාන්‍ය විසින් නවතා දමා තිබේ.
මෙම යානා අනතුරත් සමග ප්‍රකාශයක් නිකුත් කළ අයි.එස්. ඉස්ලාම් රාජ්‍යයට සම්බන්ධ අන්තවාදීන් කියා සිටියේ ඔවුන් මෙම යානය බිම හෙලූ බවයි.
මෙට්‍රෝජෙට් එයාර්බස් 321 යානය ශාන්ත පීටර්ස්බර්ග් නුවර වෙත ගමන් කරමින් තිබියදී මෙසේ කඩා වැටී තිබුණේ, එය ගුවන්ගත කර විනාඩි 23කට පසුවය.
මෙම අනතුරින් යානයේ ගමන්ගත් මගිනී හා කාර්ය මණ්ඩලයේ සියලු දෙනා ජීවිතක්ෂයට පත්වූ අතර, ඉන් බහුතරය රුසියානුවන් විය.
"රුසියානු යානය ත්‍රස්තවාදී බෝම්බයකින් බිම පතිත වූයේ දැයි අපට තවම තහවුරු වී නැහැ. නමුත්, පෙනෙන ආකාරයට එය බොහෝ සෙයින් බෝම්බ ප්‍රහාරයක් විය හැකියි" යනුවෙන් බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් පැවසීය.
මේ අතර, බ්‍රිතාන්‍ය අගමැතිවරයා හා රුසියානු ජනපති ව්ලැඩිමීර් පූටින් අතර මෙම අනතුර සම්බන්ධයෙන් දුරකථන සංවාදයක්ද පැවතී ඇත.
කළු පෙට්ටියේ පටිගත කිරීම් අනුව යානයේ කඩින් කඩ ඇසෙන හඬ මෙවැනි බෝම්බ සිද්ධියක් සම්බන්ධයෙන් ඇමෙරිකාවේ අදහසට හේතු වන්නට ඇති බවද ක්‍රෙම්ලීනය පවසයි.
මේ අතර, ඊජිප්තු සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ දැනට ලැබී ඇති පරීක්ෂණ තොරතුරු අනුව යානය බෝම්බ ප්‍රහාරයකට නතු වූයේ යැයි පැවසීමට තරම් සාක්ෂි නොමැති බවයි.