ශ්‍රී බුද්ධ වර්ෂ 2562 වැනි වෙසක් මංගල්‍යය වෙනුවෙන් බුද්ධගයාව මූලික කර ගනිමින් විශේෂ ආගමික සැමරුම් හා උත්සව රැසක් සංවිධානය වන අතර, ඊයේ (29දා) ආරම්භ වූ මෙම සැමරුම් දින තුනක කාලයක් පුරා පැවැත්වෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
අති පාරිශුද්ධ වූ බුද්ධගයා පුදබිම මූලික කර ගනිමින් ප්‍රධාන ආගමික උත්සවය පැවැත්වෙන අතර, මෙම අවස්ථාවට ගයා හි ආණ්ඩුකාර සත්‍ය පාල් මලීක් ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූ බව සඳහන් වෙයි.
ගයා හි පොලිස් ප්‍රධානියා පවසා සිටියේ පොලිස් කොස්තාපල්වරුන් 400ක් සහ නිලධාරීන් 40කගෙන් සමන්විත විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්ද මෙම කාලය තුළ ක්‍රියාත්මක වන බවයි. එහිදී, මෙම පොලිස් කණ්ඩායම්වලට අමතරව මධ්‍යම පොලීසියේ විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක්ද හදිසි අවස්ථාවක යෙදවීමට සූදානමින් සිටින බවත්, ඕනෑම ආකාරයක කඩාකප්පල්කාරී ක්‍රියාවක් වැළැක්වීමේ හදිසි ප්‍රතිචාර කණ්ඩායමක්ද සූදානමින් සිටින බවත් ඔහු පවසා ඇත.
පසුගිය වසර පහක කාලය තුළ බුද්ධගයා පුදබිම ඉලක්ක කරමින් ත්රස්තවාදීන් විසින් කුඩා පිපිරවීම් දෙකක් එල්ල කිරීම මේ ආකාරයේ දැඩි ආරක්ෂාවක් වෙසක් උත්සවය වෙනුවෙන් යෙදවීමට හේතුවූ බව කියැවෙයි. එහි පළමු වැනි ප්‍රහාරය 2013 ජූලි 07දා දිනයේදීත්, දෙවැනි ප්‍රහාරය පසුගිය වසරේ ජූලි මාසයේදීත් බුද්ධගයා ප්‍රධාන පුදබිමට ආසන්න ස්ථානයකට එල්ල වූ බවත් ඉන්දීය මාධ්‍ය සඳහන් කරයි.
ඒ අනුව, මෙවර දැඩි ආරක්ෂාවක් සහිතව බුද්ධගයාවට බටහිරින් කූඩාරම් ගැසූ ප්‍රදේශයක් දසදිගින් පැමිණෙන ගිහි ශ්‍රාවක ශ්‍රාවිකාවන්ට විවේක ගැනීම සඳහා සකසා ඇති බව බුද්ධගයා පාලනාධිකාරිය පවසයි. එමෙන්ම, 7,000ක් පමණ වූ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට විවේක ගැනීම සඳහා තවත් සුවිසල් පරිශ්‍රයක් සකසා ඇති බවද ඔවුහු පවසති.
මෙහිදී, බුද්ධගයාව ආශ්‍රිතව ඇති විදෙස් විහාරස්ථාන සියල්ලම පාහේ මෙවර වෙසක් උත්සවය වඩාත් අර්ථවත්ව සහ අලංකාරවත්ව පැවැත්වීමට එක්ව කටයුතු කරන බවද ඔවුහු පෙන්වා දෙති. මෙම ආගමික උත්සව පැවැත්වෙන දින තුනක කාලය පුරා අඛණ්ඩ ජල හා විදුලිය සැපයුමක් තහවුරු කරන ලෙස දිස්ත්‍රික් අධිකරණ විනිසුරු බලධාරීන්ට දන්වා තිබීමද කැපී පෙනෙයි. මේ අතර, වයෝවෘද්ධ හා ඇවිදීමේ අපහසුවෙන් පෙළෙන අයට ගමන් කිරීම සඳහා නොමිලේ රික්ෂෝ සේවාවක්ද අරඹා ඇති අතර, බුද්ධගයා දුම්රිය ස්ථානයේ සිට වායුසමනය කළ විශේෂ බස් රථ සේවාවක්ද යොදවා ඇති බව ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.