රූපවාහිනී බැට්මෑන් චරිතයට පණ පෙවමින් 60 දශකයේදී අතිශය ජනාදරයට පත් ඇමෙරිකානු රංගන ශිල්පියෙකු වූ ඇඩම් වෙස්ට් ජීවිතක්ෂයට පත්ව තිබේ.
මිය යනවිට 88 වැනි වියෙහි පසුවූ වෙස්ට්, ලියුකේමියා රෝගියෙකු ලෙස ලොස් ඇන්ජලීස් නුවරදී සිය දෙනෙත් පියාගත් බව ඔහුගේ ඥාතීහු පවසති.
රූපවාහිනී බැට්මෑන් චරිතයෙන් එකල සුවිශේෂී මතක සටහනක් ප්රේක්ෂක සිත් තුළට එක්කළද ඔහුට ඉන් අනතුරුව ප්රධාන චරිතයකට පණ පෙවීමට එතරම් අවස්ථාවක් හිමි නොවීය.
නමුදු, නූතන ප්රේක්ෂකයන් සමග ඔවුන්ගේ සිත් තුළ රැඳිය හැකි චරිතයකට යළි පණ පෙවීමට ඔහුට අවස්ථාව හිමිව තිබුණේ නව සහශ්රයේදී කරළියට පැමිණි ‘ෆැමිලි ගයි’ හි චරිතයක් නිරූපණය කරමිනි.
එකල බැට්මෑන් කතා මාලාව රූපවාහිනියේ සුපිරි කතා මාලාවක් ලෙස දිගහැරෙන විට වෙස්ට්, තම සහායක නළුවා හෙවත් රොබින්ගේ චරිතයට පණ පෙවූ බර්ට් වෝඩ් සමග බාල, තරුණ, මහළු සියලුදෙනා සිය වසඟයට ගත් බව විදෙස් විචාරකයෝ පෙන්වා දෙති.
වර්ෂ 1928 දී වොෂිංටන් හිදී උපත ලබා තිබූ ඔහුගේ රංගන දිවිය ආරම්භ වී තිබුණේ වර්ෂ 1950 දී හවාහි හිදීය. ඔහුගේ බිරිඳ මාර්සෙල්ලා වන අතර, ඔවුන්ට දාව දරුවන් හය දෙනෙකි. එමෙන්ම, මුණුපුරු මිණිපිරියන් පස් දෙනෙකු සහ මීමුණුපුරු මිණිපිරියන් දෙදෙනෙකුද ඔහුට වූහ. රංගනයට පිවිසිමට පෙර ඔහු හමුදා සේවයේද යෙදී තිබේ.