ත්රස්තවාදයට එරෙහි සටනේදී මානව හිමිකම් අවශ්‍ය නම් වෙනස් කරමින් හෝ කටයුතු කිරීමට පසුබට නොවන බව පැවසූ බ්‍රිතාන්‍ය අගමැතිනී තෙරේසා මේ ස්ථාවර රජයක් පිහිටුවීම වෙනුවෙන් එක්ව කටයුතු කරන බව අවධාරණය කළාය.
මහ මැතිවරණයෙන් බහුතර බලයක් ලබාගැනීමට නොහැකි වුවද, උතුරු අයර්ලන්ත ඩී.යූ.පී. පක්ෂයේ සහාය ලබාගනිමින් ආණ්ඩුවක් පිහිටුවීම සඳහා දෙවැනි එළිසබෙත් රැජිනගේ අවසරය ලබාගත් බ්‍රිතාන්‍ය අගමැතිනියට සුළුතර බලයක් හිමිව ඇති බවට ඇතැම් මාධ්‍ය වාර්තා පළ වුවත්, ඇය නොපසුබටව සටනට මුහුණදෙන බව ස්වාධීන මාධ්‍ය වාර්තා පවසයි.
ඩවුනින් වීදියේ අගමැති නිල නිවස ඉදිරිපිටදී මාධ්‍ය වෙත කෙටි ප්‍රකාශයක් ලබාදෙමින් අගමැතිනිය පවසා සිටියේ ස්ථාවර රජයකින් රටට ස්ථාවරත්වය ලබාදෙමින් මෙම අභියෝගාත්මක මොහොතේ බ්‍රිතාන්‍යය ඉදිරියට ගෙනයෑම සඳහා කටයුතු කරන බවයි.
කන්සර්වේට්වි සහ ඩී.යූ.පී. පක්ෂයේ එකතුවෙන් බ්‍රෙක්සිට් සඳහා වූ වැඩපළිවෙළ ද වඩාත් සාර්ථකව හා කාර්යක්ෂමව ඉදිරියට ගෙනයෑමට කටයුතු කරන බව පවසා සිටි අගමැතිනිය, පක්ෂ දෙක අතර වසර ගණනාවක සිට පවතින බලවත් සබඳතාව මෙය සාක්ෂාත් කරගැනීමට ඉවහල් වනු ඇති බවද අවධාරණය කළාය. එය සියලු බ්‍රිතාන්‍යය වැසියන්ට සුඛිත මුදිත අනාගතයක් සඳහා වූ විශ්වාසය ඇති කරන සබඳතාවක් වනු ඇති බවද ඇය පෙන්වා දුන්නාය.
බ්‍රිතාන්‍ය අගමැතිනී තෙරේසා මේ පසුගිය මාස කිහිපය තුළ රට තුළ උද්ගත වූ ම්ලේච්ඡ ඉස්ලාමීය අන්තවාදයටද මුහුණදෙමින් මෙවර මැතිවරණයට ඉදිරිපත් වූ අතර, මැතිවරණයට දින කිහිපයක් තිබියදී පිට පිට එල්ල කෙරුණු මරාගෙන මැරෙන ප්‍රහාර හරහා රජය කෙරෙහි ජනතා අප්‍රසාදයක් ඇති කිරීමට ත්රස්තයන් ක්‍රියා කළා විය හැකි බවද ස්වාධීන මාධ්‍ය පෙන්වා දෙයි.
එමෙන්ම, අගමැති ඩේවිඩ් කැමරන් අතහැර දමාගිය අගමැති ධුරය භාරගෙන බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් වෙන්වීමේ බ්‍රෙක්සිට් ක්‍රියාවලියේ භාරධූර වගකීමද සියතට ගෙන කටයුතු කරන තේරේසා මේ සමග එක්වන ඩී.යූ.පී. පක්ෂ නායිකා අර්ලීන් ෆෝස්ටර් කියා සිටියේද මෙම අභියෝගාත්මක අවස්ථාවේ රට තුළ ස්ථාවරත්වය ඇති කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග අගමැතිනිය සමග එක්ව සොයා බලන බවයි.
මැතිවරණයෙන් ආසන 318ක් ලබා සිටින කන්සර්වේටිව් පක්ෂයට ඩී.යූ.පී. පක්ෂයේ ආසන 10ත් එකතු වූ විට ආසන 328ක් දක්වා ඉහළ යන අතර, මේ තත්ත්වය තුළ ආණ්ඩුවක් පිහිටුවීම සඳහා අවශ්‍ය මන්ත්‍රී ආසන 326 සම්පූර්ණ කිරීමට හෙවත් බහුතර බලය ලබාගැනීමට තේරේසා මේ සමත්ව සිටියි.
කෙසේ වෙතත්, තෙරේසා මේ සුළුතර ආණ්ඩුවක් පිහිටුවා ඇති බවට මැසිවිලි නඟන ඇතැම් මාධ්‍යට, බ්‍රිතාන්‍යයේ කම්කරු පක්ෂය ලබා තිබෙන ආසන 261 සමග අනෙක් සෙසු සියලු පක්ෂ එකතු වූ විට ලබාගත හැකි වන්නේ මන්ත්‍රී ආසන 313ක් පමණක් බව නොපෙනෙන බවද ස්වාධීන මාධ්‍ය පෙන්වා දෙයි. ඒ අනුව, ආසන කිහිපයක් වැඩි වූ පමණින් ආසන 261ක් පමණක් ලබාගෙන සිටින ජෙරමි කෝබින්ගේ නායකත්වයෙන් යුතු කම්කරු පක්ෂයට මහා බ්‍රිතාන්‍ය තුළ ආණ්ඩුවක් පිහිටුවීම සඳහා නෛතික හැකියාවක් නොමැති බව පැහැදිලිය.