යුරෝපා සංගමයෙන් ඉවත්වීමෙන් පසුව බ්‍රිතාන්‍යය සහ යුරෝපා හවුල අතර වෙළඳ ගිවිසුමක් ඇතිකර ගැනීමට අඩුම තරමින් බ්‍රිතාන්‍යයට තවත් වසර 10ක පමණ කාලයක් ගතවිය හැකි බව යුරෝපා හවුලේ පෙනී සිටින බ්‍රිතාන්‍ය තානාපතිවරයා පවසයි.
එහිදී, බ්‍රිතාන්‍ය හා යුරෝපා සංගමය අතර නව වෙළෙඳ එකඟතාවකට පැමිණීම පවා 2020 දී පමණ සිදුකිරීමට යුරෝපා සංගමයේ සූදානම බවටද එම තානාපතිවරයා බ්‍රිතාන්‍ය රජයට අනතුරු අඟවා ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
එමෙන්ම, මෙතරම් කාලයක් ගෙවී යාමෙන් අනතුරුව වුවද, බ්‍රිතාන්‍ය ඉදිරිපත් කරන කොන්දේසි ඇතුළත් වෙළෙඳ ගිවිසුමකට යුරෝපා සංගමයට අයත් අනෙකුත් සාමාජික රටවල පාර්ලිමේන්තු තුළ විරෝධතාවක් මතු වීමේ වැඩි සම්භාවිතාවක් පවතින බවද එම තානාපතිවරයා අනතුරු අඟවා තිබේ.
මන්දයත්, යුරෝපා සංගම් නීතියෙන් පරිබාහිර සාමාජික නොවන රටක් ඉදිරිපත් කරන වෙළඳ ගිවිසුමක් යුරෝපා සංගමයේ අනෙකුත් සියලුම රටවල් සිය පාර්ලිමේන්තුව තුළ දැඩි විවාදයට ලක්කොට සම්මත කළ යුතු වීම නීතියක් වන බැවිනි.
මේ තත්ත්වය තුළ එතරම් දීර්ඝ කාලයක් ගිවිසුම් කොන්දේසි බලවත්ව පවත්වාගෙන යාමට බ්‍රිතාන්‍යයට හැකිවනු ඇතිද යන පැනය ඇති වී තිබේ. එහිදී, සෙසු යුරෝපා සංගම් රටවල් 'බ්‍රෙක්සිට්' වෙළෙඳ ගිවිසුම තුළින් බලාපොරොත්තු වන්නේ හුදෙක් බ්‍රිතාන්‍ය සමග නිදහස් වෙළෙඳ ගිවිසුමක් ඇති කරගැනීම මිස, යුරෝපා ඒකීය වෙළඳ කලාපයේ බ්‍රිතාන්‍යයට රැඳීමට ඉඩදීම නොවන බවද තානාපතිවරයා පෙන්වා දෙයි.
මේ තත්ත්වය තුළ ශ්‍රීමත් අයිවන් රොජර්ස් තානාපතිවරයා බ්‍රිතාන්‍ය අගමැති කාර්යාලයේ දෝෂ දර්ශනයටද ලක්ව ඇති අතර, එම කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ යුරෝපා හවුලේ පෙනී සිටින බ්‍රිතාන්‍ය තානාපතිවරයා බ්‍රිතාන්‍යයේ ස්ථාවරය සහ දැක්ම නොසලකා හරිමින් අනෙකුත් යුරෝපා සංගම් සාමාජික රටවල් දරන මතය අනවශ්‍ය ලෙස සැලකිල්ලට බඳුන් කර ඇති බවයි.