මහා බ්‍රිතාන්‍යයෙන් වෙන්වූ ස්වාධීන රාජ්‍යයක් ලෙස ස්කොට්ලන්තයට නිදහස ළඟාකර ගැනීම වෙනුවෙන් යළිත් ජනමත විචාරණයක් පැවැත්වීම සඳහා බලය ඉල්ලා සිටීමේ ලිපියට එරට ප්‍රථම අමාත්‍ය නිකොලා ස්ටර්ජන් අත්සන් තබා ඇත.
ස්ටර්ජන්ගේ තීරණයට අනුබලය දෙමින් පසුගිය 28දා එරට පාර්ලිමේන්තුව ඡන්ද 69 ට 59ක් වශයෙන් තවත් ජනමත විචාරණයක් ඉල්ලා සිටීමේ යෝජනාවට පක්ෂ විය.
කෙසේ වෙතත්, බ්‍රෙක්සිට් වැඩපිළිවෙළ සම්පූර්ණ වනතුරු ජනමත විචාරණයකට නොයන ලෙස බ්‍රිතාන්‍ය රජය මෙන්ම අගමැතිනියද ස්කොට්ලන්තයෙන් පෞද්ගලිකව ඉල්ලා තිබුණද, ස්ටර්ජන්ගේ තර්කය වී තිබුණේ බ්‍රෙක්සිට් හමුවේ ස්කොට්ලන්තය පියවර එසවිය යුතු බවයි.
මේ අතර, බෙක්සිට් වැඩපිළිවෙල ඇරඹීමේ අරමුණින්, ලිස්බන් සම්මුතියේ '50 වෙනි වගන්තිය' ක්‍රියාවට නැංවීම සඳහා වූ නිල ලිපියට බ්‍රිතාන්‍ය අගමැතිනී තෙරේසා මේ විසින් අත්සන් තැබූ ආකාරය හා සැසඳීමේදී නිකොලා ස්ටර්ජන් ජනමත විචාරණය ඉල්ලීමේ ලිපියට අත්සන් තැබූ ආකාරය අතිශය සරල ස්වරූපයක් ගෙන තිබූ බව විදෙස් මාධ්‍ය පවසා තිබුණි.
කෙසේ වෙතත්, සරල නොවූ එම ලිපියෙන් ස්ටර්ජන් පවසා තිබුණේ ස්කොට්ලන්ත පාර්ලිමේන්තුව පසුගියදා තමන්ට සහාය පළකිරීමත් සමග තවත් ජනමත විචාරණයක් සඳහා බලය ඉල්ලීමේ වරමක් තමන් සතු බවය.
ඒ අනුව, ලබන වසරේ සරත් ඍතුව හා 2019 වසරේ වසන්ත ඍතුව අතරදී ජනමත විචාරණය පැවැත්වීමට අපේක්ෂා කරන නමුදු කාලය පිළිබඳ සාකච්ඡා කිරීමට හැකි බවද ඇය එම ලිපියෙන්, බ්‍රිතාන්‍ය අගමැතිනියට දන්වා තිබුණි. කෙසේ වෙතත්, මෙම ඉල්ලීම ප්‍රතික්ෂේප වුවහොත්, පාස්කු නිවාඩුවෙන් අනතුරුව ස්කොට්ලන්ත පාර්ලිමේතුව රැස්වූ පසු සිය රජය ඊළඟ පියවරට එළඹෙන බවද ඇය වැඩිදුරටත් සඳහන් කර තිබුණි.
මහා බ්‍රිතාන්‍යයෙන් වෙන්ව ස්වාධීන රාජ්‍යයක් විය යුතු දැයි විමසමින් 2014 වසරේ ස්කොට්ලන්තයේ පැවති ජනමත විචාරණය 55% ට 45% ක් වශයෙන් පරාජයට පත්වුවත්, බ්‍රෙක්සිට් ජනමත විචාරණයෙන් පසුව යළිත් වරක් තම ජනතාවගේ මතය විමසීම වැදගත් බව ස්ටර්ජන්ගේ විශ්වාසය වී තිබුණි.