(UPDATE) බංග්ලාදේශයට බලපෑ දැඩි මෝසම් වර්ෂාවත් සමග සිදුවූ කඳු නායයෑම් නිසා පුද්ගලයන් 92 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.
ගිනිකොණදිග බංග්ලාදේශයට බලපෑ මෙම ආපදා තත්ත්වය හේතුවෙන් මියගිය පිරිස අතර හමුදා සොල්දාදුවන් 05 දෙනෙකුද සිටින බව සඳහන් වෙයි.
රංගමාති දිස්ත්‍රික්කයේ බලධාරීන් පවසන්නේ එම පළාතේ පමණක් කඳු නායයෑමෙන් පුද්ගලයන් 60 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බවයි.
අයහපත් කාලගුණය හමුවේ පවා මුදාගැනීමේ මෙහෙයුම් සිදුවන අතර, විදුලිය, දුරකථන සම්බන්ධතා සම්පූර්ණයෙන් පාවේ ඇණහිට ඇති බවද විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.
"ආපදාවට ලක්වූ බොහෝ ප්‍රදේශ වෙත අපට ගමන් කිරීමට අපහසු වී තිබෙනවා. වර්ෂාව තරමක් පහව ගිය පසුව ඒ සියලු ස්ථාන වෙත ළඟා වීමට උත්සාහ ගන්නවා. සිදුවූ හානියේ සමස්ත පින්තූරය ලබාදීමට කටයුතු කරනවා" යැයි බංග්ලාදේශ ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ප්‍රංශ පුවත් සේවයට පවසා තිබුණි.
රංගමාති දිස්ත්‍රික්කය ඉන්දියානු දේශසීමා ආසන්න කඳුකර ප්‍රදේශයක් ලෙස සැලකෙන අතර, මෙම ප්‍රදේශයේ නිවාස රැසක් පස් කඳුවලට යටවී ඇති බව වාර්තා වෙයි.
කඳු නායයෑම සිදුවන අවස්ථාවේදී බොහෝ දෙනා නින්දේ පසුවී ඇති බවද ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුව පවසයි.
මෙහිදී හමුදා සාමාජිකයන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පළමු නායයෑමෙන් පසුව අවහිර වූ මාර්ග යළි පිළිසකර කරමින් සිටියදී සිදුවූ දෙවැනි නායයෑමක් හේතුවෙනි.
බංග්ලාදේශයේ ප්‍රධානතම වරාය නගරය ලෙස සැලකෙන චිතගොං නගරය වෙතද ප්‍රබල මෝසම් වර්ෂාවේ බලපෑම සිදුව ඇති බවද සඳහන් වෙයි.
කෙසේ වෙතත්, පස් කඳුවලට යටවී තවත් විශාල පිරිසක් සිටින නිසා මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවද විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.