මධ්‍යම පෘතුගාලයට බලපා ඇති ලැව්ගිනි තත්ත්වය හේතුවෙන් මේ වනවිට ජීවිත 62ක් අහිමි වී ඇති අතර, මියගිය වැඩිදෙනා තම මෝටර් රථවල නැගී ගින්නෙන් පළා යාමට උත්සාහ කිරීමේදී ජීවිතක්ෂයට පත්ව තිබේ.
මේ අතර, තවත් පුද්ගලයන් 12 දෙනෙකු තම ප්‍රදෙශයේ වූ වතුරට ටැංකියක රැඳී සිට ගින්නෙන් දිවි බේරාගැනීමට සමත්ව ඇති අතර, ඔවුන්ගේ ගම්මානය සම්පූර්ණයෙන්ම ගින්නට හසුවන විට 95 හැවිරිදි කාන්තාවක ඇතුළු සියලු දෙනා වතුර ටැංකියේ රැඳී සිට ඇත.
"මේ වතුර ටැංකිය නොතිබ්බා නම්, අද අපි කවුරුවත් ජීවත් වෙන්නෙ නෑ" යනුවෙන් ඉන් දිවි ගලවා ගත්තෙකු පවසා තිබුණි.
පොලීසිය පවසන පරිදි මෙම ලැව්ගිනි තත්ත්වය වඩාත් වේගයෙන් පැතිර යමින් පවතින අතර, ගිනි නිවන භටයන් 1,000කට වැඩි පිරිසක් ගින්න නිවා දැමීම සඳහා දිවා රෑ නොබලා දැඩි පරිශ්‍රමයකින් කටයුතු කරමින් සිටියි.
එමෙන්ම, මධ්‍යම පෘතුගාලයේ ප්‍රදේශ කිහිපයක ජීවත්වන ජනතාව මේ වනවිට ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමටද බලධාරීන් කටයුතු කරමින් සිටියි.
ලැව්ගිනි තත්ත්වය හේතුවෙන් මේ වනවිට තුවාල ලබා ඇති පිරිස 135කට අධික වන අතර, ඒ අතර ගිනි නිවන භටයන් 13 දෙනෙකුද වන බව පොලීසිය කියයි.
පසුගිය සෙනසුරාදා පේඩ්රෝගාඕ ග්‍රැන්ඩේ ප්‍රදේශයෙන් ආරම්භ වූ ලැව්ගින්න වේගයෙන් පැතිර යාම සඳහා හදිසියෙන් ඇති වූ අධික ග්‍රීෂ්මය මෙන්ම, දැඩි සුළං තත්ත්වය හේතුවී ඇති අතර, මෙම තත්ත්වයට පෙර ඇතැම් ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 සීමාවට පැමිණ තිබූ බවද කියයි.