ශාන්ත පීටර්ස්බර්ග් මෙට්රෝ දුම්රිය මැදිරියක් තුළ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්රහාරයෙන් පසුව නගරයේ මහල් නිවාසයක තිබී තවත් බෝම්බයක් සොයාගෙන තිබේ.
ජීවිත 13ක් බිලිගත් දුම්රිය බෝම්බ ප්රහාරයෙන් දින තුනකට පසුව මෙම බෝම්බය සොයාගැනීමට පොලීසිය කටයුතු කර ඇති අතර, සෝදිසි මෙහෙයුමේදී සැකකරුවන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගත් බවද පොලීසිය පවසයි.
එහිදී, මහල් නිවාසයේ අසල්වාසීන් ආරක්ෂිත ස්ථාන කරා යොමුකර ඇති අතර, පුද්ගලයන් තිදෙනෙකු මංචු සහිතව රැගෙන ගිය බව සිද්ධිය ඇසින් දුටුවෝ පවසති.
කිරිගිස්ථාන ජාතිකයෙකු මෙම බෝම්බ ප්රහාරය සම්බන්ධයෙන් සැකකෙරෙන අතර, පුපුරාගිය බෝම්බයේ සුන්බුන් සහ සෝදිසි මෙහෙයුමේදී මහල් නිවාසයේ තිබී සොයාගත් ආම්පන්න අතර සමානකම් පවතින බවද පොලීසිය පෙන්වා දෙයි.
මෙම බෝම්බ ප්රහාරයෙන් තවත් 50කට ආසන්න පිරිසක් තුවාල ලැබීය.