රුසියාවේ, ශාන්ත පීටර්ස්බර්ග් හි මෙට්‍රෝ දුම්රිය මැදිරියක පසුගියදා සිදුවූ පිපිරීම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් බවත්, පිපිරීම සිදුකළ සැකකරුගේ ශරීර කොටස් දුම්රිය මැදිරියේ තිබී හමුවූ බවත් රුසියානු ආරක්ෂක අංශ අනාවරණය කරයි.
දුම්රිය ස්ථාන දෙකක් අතරතුරදී පසුගිය සඳුදා දිනයේදී සිදුවූ මෙම පිපිරීමෙන් පුද්ගලයන් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර, තවත් 50කට ආසන්න පිරිසක් තුවාල ලැබීය.
කිර්ගිස්ථාන ආරක්ෂක සේවාව විසින් බෝම්බය පුපුරුවා හැරි සැකකරු අක්බර්සෝන් ජලීලොව් ලෙස නම් කර ඇති අතර, ඔහු කිරිගිස්ථානයේ, ඕෂ් නගරයේදී වර්ෂ 1995 දී උපත ලැබූවෙකු බවත්, රුසියානු පුරවැසිභාවය ලැබූවෙකු බවත් හඳුනාගෙන තිබේ.
රුසියානු ආරක්ෂක අංශ විසින්ද පසුව ඔහුගේ නම තහවුරු කළ අතර, ඔහු දෙවැනි බෝම්බයක්ද ස්ථානගත කර තිබුණත් එය පිපිරීගොස් නැති බවද අවධාරණය කළේය.
මෙම බෝම්බ ප්‍රහාරයේ වගකීම කිසිවෙකු විසින්වත් භාර නොගත්තද, මෙය ඉස්ලාම් රාජ්‍යයේ IS ත්රස්තයන්ගේ අනුදැනුම මත හෝ හුදකලා ජිහාඩ් ප්‍රහාරයක් ලෙස සිදුවූවක් විය හැකි බවට මේ වනවිට සැකසංකා මතුව පවතී.