ප්‍රංශයේ පැරිස් නුවර අවන්හලක් වෙත එල්ල වූ මධ්‍යසාර බෝම්බයකින් පුද්ගලයන් දෙදෙනෙකු දරුණු පිළිස්සුම් තුවාල ලබා තවත් පුද්ගලයන් 10ක් පමණ සුළු තුවාල ලබා ඇති බව වාර්තා වෙයි.
පැරීසියේ, සෙයිනේ-සෙන්ට්-ඩෙනිස් දිස්ත්‍රික්කයේ, අවුබර්විලියර්ස් ප්‍රදේශයේ අවන්හලක් වෙත ඊයේ රාත්‍රී 8.30 ට පමණ මධ්‍යසාර (කොක්ටේල්) බෝම්බය එල්ල වී ඇති අතර, එම අවස්ථාවේදී ගිනි නිවන හමුදාව මෙන්ම, ගිලන් රථ සිද්ධිය වූ ස්ථානය වෙත ක්ෂණිකව ළඟා වූ බවද කියැවෙයි.
ගිනි නිවන භටයන් 50ක් පමණ මෙම අවන්හල් පරිශ්‍රය වෙත ඇතුළුව ගින්න මැඬපවත්වමින් එහි සිටි පිරිස් පිටතට ගෙන ඇති අතර, දැඩි පිළිස්සුම් තුවාල ලබා සිටි පුද්ගලයන් දෙදෙනා සෙන්ට් ලුයිස් රෝහල වෙත යවා තිබේ.
මහල් පහක අවන්හල් ගොඩනැගිල්ලේ ගින්න සම්පූර්ණයෙන්ම මැඬපැවැත්වීමට ආරක්ෂක අංශ සමත් වුවත්, ගින්න හේතුවෙන් ගොඩනැගිල්ලට බරපතල හානි සිදුව තිබූ බව කියැවෙයි.
කෙසේ වෙතත්, මෙම ප්‍රහාරය කවරෙකු විසින් එල්ල කළේද යන්න පිළිබඳව මෙතෙක් පැහැදිලි නොමැති අතර, මෙය ත්‍රස්ත ක්‍රියාවක්ද, නැත්නම් සොරකමක් වැරදීමෙන් සිදුකළ ප්‍රහාරයක්ද යන්න පිළිබඳව පරීක්ෂණ පැවැත්වෙන බව ආරක්ෂක අංශ පවසයි.
ප්‍රංශය වෙත පසුගිය කාලය පුරාවට එල්ල වූ ඉස්ලාම් රාජ්‍ය ප්‍රහාර හේතුවෙන් එරට තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්ව පවතින බැවින් මෙවැනි ප්‍රහාර පිළිබඳ ආරක්ෂක අංශ, ගිනි නිවන හමුදාව නිරන්තර අවධානයෙන් පසුවන බවද විදෙස් වාර්තා පවසයි.