පකිස්තානයේ අගමැති නවාස් ෂරීෆ්ට ඉල්ලා අස්වන ලෙස බල කෙරෙන දැවැන්ත උද්ඝෝෂණ මාලාවක් එරට නිදහස් දිනයට සමගාමීව ඉස්ලාමාබාද් නුවර අරඹා ඇති බව වාර්තා වෙයි.
පාකිස්තාන විපක්ෂයේ ප්රබල දේශපාලඥයන් දෙදෙනෙකු වන හිටපු ක්රිකට් නායක ඉම්රාන් ඛාන් සහ ඉස්ලාම් පූජකයෙකු වන තහීර් උල් ඛද්රි මෙම උද්ඝෝෂණයන්ට නායකත්වය ලබාදී ඇති බව පැවසෙයි.
උද්ඝෝෂකයින් ඉස්ලාමාබාද් අගනුවරට ඒම වැළැක්වීම සඳහා කන්ටේනර් යොදා ගනිමින් මාර්ග බාධක ඉදි කර තිබුණු අතර දහස් ගණනින් පොලිස් භටයන් ඉස්ලාමාබාද් නුවර වීදිවල යොදවා තිබූ බව විදෙස් පුවත් සේවා පවසයි.
කෙසේ වෙතත්, ඉම්රාන් ඛාන් ලාහෝර් නුවරදී උද්ඝෝෂණය සංවිධානය කරමින් රැස්වීමක් පවත්වා ඇති අතර, ඔහු පවසන්නේ 2013 වසරේ පැවති මැතිවරණයෙන් වංචනික ලෙස නවාස් ෂරීෆ් බලයට පැමිණි බවයි.
දහස් ගණනින් මහජනතාව විරෝධතා පා ගමනට එකතු සිටින අතර අගමැති නවාස් ෂරීෆ් තනතුරෙන් ඉල්ලා අස් වන තුරු ඉස්ලාමාබාද් නුවර වීදිවල හිඳගෙන සිටින බවද උද්ඝෝෂකයෝ පවසති.