බංග්ලාදේශයේ වැඩිම පිරිසක් රැස්වන ඊද් අල්-ෆිතර් ආගමික දේව මෙහෙය පැවති ස්ථානය වෙත IS ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන් එල්ල කරනලද ප්‍රහාරය මැඬපැවැත්වීමට එරට ආරක්ෂක අංශ සමත්ව තිබුණි.
රාමසාන් උපවාස සමය අවසන් වී ඊද් උත්සවය සමරමින් පැවති මෙම අවස්ථාවට ලක්ෂ තුනකට ආසන්න ඉස්ලාම් ජනතාව ඒකරාශී වී සිටි බවත්, ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ පොලිස් කණ්ඩායම් යොදවා සිටි බවත් එරටින් වාර්තා වෙයි.
ඩකා අගනුවර සිට කිලෝ මීටර් ගණනාවක් ඔබ්බෙන් වූ කිෂෝරේගාන්ජ් දිස්ත්‍රික්කයේ පැවති මෙම ආගමික උත්සවය අවස්ථාවේදී ඒ වෙත ප්‍රහාර එල්ල කිරීමට පැමිණි ඉස්ලාමීය අන්තවාදීන් ආරක්ෂක අංශ සමග ගැටුණු අතර, ඔවුන් එරටදී නිපදවූ බෝම්බ ප්‍රහාර කිහිපයක්ද එල්ල කර පසුව පොලීසිය සමග වෙඩි හුවමාරුවකද නිරත වූහ.
මෙම ප්‍රහාරයේදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බව එරට ආරක්ෂක අමාත්‍යාංශය කීය. එමෙන්ම, මියගිය සම්පූර්ණ පිරිස හතරක් බවත්, ඒ අතර ප්‍රහාරයට පැමිණි අයෙකුද සිටින බවත් පැවසෙයි.
පසුගිය සිකුරාදා දිනයේදී ඩකා අගනුවර ඉතාලි අවන්හලට ප්‍රහාරයක් එල්ල කරමින් පුද්ගලයන් 22 දෙනෙකු ජීවිතක්ෂයට පත්වීවෙන් පසුව, එරට තුළ ප්‍රහාර මාලාව අවසන් නොමැති බවත්, ඩකා ප්‍රහාරය එහි ආරම්භයක් පමණක් බවටත් ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන් අනතුරු ඇඟවීමක්ද සිදුකර තිබුණි.
එම ඉස්ලාම් දේවස්ථානයේ ප්‍රධාන පූජකවරයෙකු විසින් මෑතකදී ඉස්ලාම් දහමේ නමින් සිදුවන ජීවිත හානි පිළිබඳව සිදුකර ඇති ප්‍රසිද්ධ ප්‍රකාශයක් හේතුවෙන්, මෙම ප්‍රහාරයේදී ඔහුවද ඉලක්ක වන්නට ඇති බව එරට මාධ්‍ය පවසා සිටියි.
කෙසේ වෙතත්, මේ ප්‍රහාරයෙන් පසුව මාධ්‍යයට අදහස් දැක්වූ පූජක තැන පවසා සිටියේ, "මෙවැනි ප්‍රහාර සිදුකිරීමෙන් දෙවියන් අතරට යන බව තරුණයන් සිතනවා නම් ඔවුන් වැරදියි. ඔවුන් කෙලින්ම යන්නේ අපායටයි" යනුවෙනි.