නෝර්වේ රාජ්‍යයට අනන්‍ය උරුමයක් වූ සුවිශේෂී දැවමය ගොඩනැගිලි සහිත ගම්මානයක විශාල ගින්නක් පැතිර ඇති බවත්, මාධ්‍ය ආයතනවල ඩ්‍රෝන යානා නිසා ගින්න නිවීම ප්‍රමාද වී ඇති බවත් විදෙස් පුවත් සේවාවාර්තා කරයි.
දකුණුදිග නෝර්වේහි ලියඩාල්සොයිරි නමින් හැඳින්වෙන මෙම ගම්මානයේ ඇතිවූ දැඩි ගින්නත් සමග එහි ජීවත්වූ 1,150ක් පමණ වූ ජනතාව වහාම ඉවත් කිරීමට කටයුතු කළ බව ගිනිනිවන හමුදාව පවසයි.
මේ හදිසි ගින්න හේතුවෙන් පුද්ගලයන් 90ක් පමණ රෝහල්ගත කර තිබුණත්, කිසිදු මරණයක් වාර්තා නොවුණු බවද පැවසෙයි.ගින්න හේතුවෙන් ඒ සුවිශේෂී දැවමය නිවාස 30ක් පමණ සම්පූර්ණයෙන්ම විනාශ වී තිබුණු බවද එරට මාධ්‍ය උපුටා දක්වන විදෙස් පුවත් සේවා පවසයි.
ගින්න නිවීම සඳහා හෙලිකොප්ටර් යානා පැමිණෙන තුරු අවට ගම්මානවල ගොවි ජනතාව ගින්න මැඬපැවැත්වීම සඳහා ගිනි නිවන හමුදාවට සහාය වී තිබේ.
කෙසේ වෙතත් පොලීසිය පවසා ඇත්තේ මාධ්‍ය ආයතනයන්ට අයත් ඩ්‍රෝන යානා ගින්නේ ඡායාරූප ගනිමින් ඇති බවට සැකයක් පවතීම හේතුවෙන් ගිනි නිවීමේ හෙලිකොප්ටර් යානා පැමිණීම ප්‍රමාද වූ බවයි. ඩ්‍රෝන යානාවල හැපීමෙන් ගින්න නිවීමට පැමිණෙන හෙලිකොප්ටර් යානාද අනතුරට පත්විය හැකි බව පොලීසිය වැඩිදුරටත් අවධාරණය කරයි.