මට ආයෙත් ඔයා බලන්න එන්න පුළුවන් වෙයි කියල මං හිතන්නෙ නෑ. සමාවෙන්න... අනේ අපේ දරුවො හොඳින් බලාගන්න...
මේ දකුණු ඉන්දියාවේ කේරල ප්‍රාන්තයේ පැතිර යන මාරාන්තික නීපා වෛරසයට ගොදුරුවූ රෝගීන්ට ප්‍රතිකාර කරමින් සිට, එම වෛරසය ආසාධනය වීමෙන්ම ජීවිතක්ෂයට පත් 28 හැවිරිදි ලීනී පුතූසේරි නම් වූ හෙදිය සිය ස්වාමියාට අවසන් වරට ලැබෙන්නට සැලැස් වූ ලිපියේ පැවති එකම වදන් පෙළයි.
වයස අවුරුදු පහක සහ දෙකක දරු දෙදෙනෙකුගේ මවක වන ඇය පසුගිය සඳහා මාරාන්තික වෛරසයට ගොදුරුව ජීවිතක්ෂයට පත්වූවාය.
කේරළ ප්‍රාන්තයේ කෝසිකොඩේ පළාතේ පැතිර යමින් පවතින මෙම මරාන්තික වෛරසයට ගොදුරුව මේ වනවිට මිනිස් ජීවිත 09ක් අහිමිව ගොසිනි.
එමෙන්ම, වෛරසය ආසාධිත බව පරීක්ෂණ මගින් තහවුරු කරගෙන සිටින තවත් දෙදෙනෙකු අසාධ්‍ය තත්ත්වයෙන් ප්‍රතිකාර ලබමින් සිටියි.
එමෙන්ම, තවත් 40කට ආසන්න පිරිසක් මේ වනවිට නිරෝධායනය කිරීම සඳහා යොමුකර ඇත.
මේ අතර, කේරළ ප්‍රාන්තය පුරා සෞඛ්‍ය බලධාරීන් හදිසි තත්ත්වයකට මුහුණදීම සඳහා සූදානම් කර ඇති අතර, අමතර සෞඛ්‍ය මධ්‍යස්ථාන මෙන්ම මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා වූ පාලක මැදිරියක්ද ක්‍රියාත්මක කර ඇති බව පැවසෙයි.
පලතුරු වවුලන්ගෙන් බෝවන මෙම වෛරසය සඳහා මෙතෙක් කිසිදු බෙහෙතක් හෝ එන්නතක් සොයාගෙන නොමැති බැවින්, මෙය මාරාන්තික වෛසරයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින්ද පිළිගෙන තිබේ.