නිව්යෝක් නුවරදී සෙනසුරාදා රාත්‍රී පුපුරාගිය බෝම්බය තියුණු යකඩ කෑලි පිරවූ ප්‍රෙෂර් උදුනක් භාවිතයෙන් සකස් කළ එකක් බවත්, ඊට යාබදව හමුවූ අනෙක් සැකකටයුතු පාර්සලයද ඒ ආකාරයෙන්ම සැකසූ බෝම්බයක් බවත් අනාවරණය වී තිබේ.
2013 වසරේදී බොස්ටන් මැරතන් තරගය ඉලක්ක කරමින් පුපුරුවා හැරි බෝම්බයද ඒ ආකාරයෙන්ම ප්‍රෙෂර් උදුනක් භාවිතයෙන් සැකසූවකි.
එහිදී, මෙම බෝම්බ පුපුරුවා හැරීම සඳහා ෆ්ලිප් මාදිලියේ ජංගම දුරකථනයක් හා ක්‍රිස්මස් විදුලි බුබුළු යොදාගෙන පරිපථයක් සකස් කර තිබූ බවත් නිව්යෝක් ටයිම්ස් පුවත්පත උපුටා දක්වයි.
මැන්හැටන් හි චෙල්සී ප්‍රදේශයේදී පුපුරාගිය පළමු වැනි බෝම්බයෙන් පුද්ගලයන් 29 දෙනෙකු තුවාල ලැබීය.
බලධාරීන් මෙම ප්‍රහාරය ත්‍රස්ත ක්‍රියාවක් ලෙස හැඳින් වූවත්, මෙතෙක් කිසිදු සැකකරුවෙකු හඳුනා නොගැනීමද ඇමෙරිකාවේ පවතින ආරක්ෂාවේ හිදැස මනාව පිළිබිඹු කරන බව විදෙස් වාර්තා පවසයි.
එහිදී, දෙවැනි බෝම්බය පළමු වැනි බෝම්බය පුපුරා ගිය ස්ථානයේ සිට මීටර් කිහිපයක් නුදුරින් සොයා ගෙන තිබුණු අතර, එය ආරක්ෂිතව ඉවත් කිරීමට බෝම්බ නිශ්ක්‍රීය අංශ කටයුතු කර තිබුණි.
නිව්යෝක් ආණ්ඩුකාරවරයාද මෙම බෝම්බ දෙකම එකම ආකාරයේ නිර්මාණයන් බව තහවුරු කළ බව විදෙස් වාර්තා පවසයි.
කෙසේ වෙතත්, සෙනසුරාදා පෙරවරුවේ නිව්ජර්සි හි පුණ්‍යායතන තරගයක් සංවිධානය වූ මාර්ගයක පුපුරාගිය පයිප් බෝම්බය මෙම බෝම්බ හා සමාන නොවන බවද ආණ්ඩුකාරවරයා පවසා තිබුණි. එම නිව්ජර්සි බෝම්බයෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොතිබුණි.
මැන්හැට්න් හි සොයාගත් දෙවැනි බෝම්බය පසුව බෝම්බ නිශ්ක්‍රීය අංශ විසින් ආරක්ෂිතව පුපුරුවා හැර තිබුණු බවද කියයි.
නිව්යෝක් බෝම්බ ප්‍රහාර එල්ල වීමෙන් පසුව කිසිදු ත්‍රස්ත සංවිධානයක් හෝ කණ්ඩායමක් එහි වගකීම භාරගැනීමට ඉදිරිපත් නොවීමද විශේෂත්වයකි.
නිව්යෝක් නගරාධිපතිවරයාද පවසා සිටියේ මෙය කවර පදනමක් හෝ කවර සංවිධානයක් විසින් එල්ල කරන ලද්දක්ද යන්න මෙතෙක් පැහැදිලි නැතත්, බෝම්බයක් පුපුරාගිය බවත්, එය ඉතා බරපතල තත්ත්වයක් බවත් වඩාත් පැහැදිලි බවය.
මේ අතර, නිව්යෝක් නගරයේ ආරක්ෂාව තරකරමින් තවත් අමතර 1,000ක පමණ පොලිස් බල ඇණියක් ජනයා නිතර ගැවසෙන ස්ථානවල රඳවා ඇති බවද විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.