රෝද සහිත සූට්කේස් එකක් සමග මැන්හැට්න් වීදිය දිගේ ඇවිද ගිය නිව්යෝක් බෝම්බකරු අහ්මඩ් ඛාන් රහාමි පොලිස් සී.සී.ටී.වී. දර්ශනවල පැහැදිලිව දැකිය හැකිය.
මේ වනවිට පොලිස් අත්අඩංගුවේ ප්‍රතිකාර ලබමින් සිටින රහාමි පිළිබඳ බොහෝ තොරතුරු ඇමෙරිකානු බුද්ධි අංශ විසින් අනාවරණය කරගනිමින් සිටියි.
විශේෂයෙන්ම ඔහුගේ සටහන් පොතක් බුද්ධි අංශ වෙත හමුවී ඇති අතර, එහි ඇමෙරිකානු හා යේමන ඉස්ලාමීය පූජකයෙකු වූ අන්වර් අල්-අව්ලාකි පිළිබඳ සටහන් වී ඇත. ඔහු අරාබි අර්ධද්වීපයේ අල් කයිඩා සංවිධානයේ ප්‍රකාශකයෙකු ලෙසද කටයුතු කළ අයෙකි.
එමෙන්ම සටහන් පොතෙහි බොස්ටන් බෝම්බය පිළිබඳ තොරතුරුද සටහන් වී ඇත. මෙම අන්වර් නැමැත්තා 2011 වසරේදී ඝාතනය වුවත්, ඔහු ආභාසය බොහෝ ත්‍රස්ත ප්‍රහාර සඳහා හේතු වී ඇති බව කියැවෙයි.
කෙසේ වෙතත්, 28 හැවිරිදි රහාමි නිව්යෝක් හා නිව්ජර්සි බෝම්බ ප්‍රහාරවලට සෘජු සම්බන්ධයක් ඇති තැනැත්තා බව මේ වනවිට තහවුරු වී ඇත.
මේ අතර, රහාමිගේ බිරිඳ මෙන්ම මව නිව්යෝක් බෝම්බ සිද්ධියට දින කිහිපයකට පෙර ඇමෙරිකාවෙන් පිටව ගොස් ඇති බවද මේ වනවිට අනාවරණය වී ඇත. බුද්ධි අංශ ඇය සම්බන්ධ කරගැනීමටද දැඩි පරිශ්රමයක යෙදෙන බව කියැවෙයි. එහිදී, ඇය පිළිබඳ තොරතුරු අනාවරණය කරගැනීම සඳහා පාකිස්තානය හා එක්සත් අරාබි එමීර් රාජ්‍ය සමග සාකච්ඡා කරමින් පවතින බවද විදෙස් වාර්තා පවසයි.
පසුගිය සෙනසුරාදා රාත්රියේදී නිව්යෝක් නගරයේ, චෙල්සි හිදී පිපිරී ගිය බෝම්බයෙන් පුද්ගලයන් 29 දෙනෙකු තුවාල ලැබීය. මෙම පිපිරීමට මොහොතකට පෙර චෙල්සී 23 වැනි වීදියේ රහාමි ඇවිද යන දසුන් සී.සී.ටී.වී. දසුන්වල පටිගත වී ඇත. ඔහු ඇදගෙන පැමිණි සූට්කේස් එක පුරවා තිබුණේ තියුණු යකඩ කැබලි පිරවූ ප්‍රෙෂර් උදුන් භාවිතයෙන් සකස් කළ බෝම්බවලිනි. ඒවා මීට කලකට පෙර බොස්ටන් මැරතන් තරගය ඉලක්ක කර එල්ල වූ බෝම්බයට හාත්පසින් සමානය. කෙසේ වෙතත්, එම බෝම්බ අතර පිපිරී නොගිය බෝම්බයක් බුද්ධි අංශවල උකුසු ඇසට ලක්විය. එහි වූ ඇඟිලි සලකුණු ඔස්සේ සිදුකෙරුණු පරීක්ෂණ අවසානයේදී රහාමි පිළිබඳ හෝඩුවාව ලබාදුන්නේය.