බ්රසීල පාපන්දු කණ්ඩායමක ක්රීඩකයන්ද සමග ජීවිත 65ක් බිලි ගනිමින් පසුගිය මාසයේදී කොලොම්බියාවේදී සිදුවූ ගුවන් අනතුරේ වගකීම යානයේ නියමුවා හා එම ගුවන් සමාගම වෙත ඍජුවම එල්ල වන බව බොලීවියානු බලධාරීහු පවසති.
බොලීවියානු ගුවන් සමාගමක් වූ ලාමියා සමාගම විසින් එම යානය මෙහෙයවූ අතර, කොලොම්බියාවේ කඳුකර ප්රදේශයක් වූ මෙඩෙලින් හිදී යානය කඩා වැටුණි. ඒ වනවිට යානයේ ගමන් ගනිමින් සිටි පුද්ගලයන් 71 දෙනාගෙන් 06 දෙනෙකුගේ පමණක් ජීවිත බේරාගැනීමට සමත්විය.
යානයේ කළු පෙට්ටියේ හඬ පට පරීක්ෂා කිරීමේදී යානයේ ඉන්ධන අවසන් බවට ගුවන් නියමුවා පවසා ඇති බව පරීක්ෂණවලදී හෙළි විය. කෙසේ වෙතත්, මෙම අනතුර සම්බන්ධයෙන් කොලොම්බියාව සිදුකරන පරීක්ෂණ තවදුරටත් සිදුකෙරෙන බවද විදෙස් වාර්තා පවසයි.
මේ අතර, ලාමියා ගුවන් සමාගමේ ප්රධාන විධායක සහ ඔහුගේ පුත් දැනටමත් අත්අඩංගුවට පත්ව ඇති අතර, ඔවුන්ට එරෙහිව නඩුව විභාගයට ගැනීමට නියමිතව තිබේ. කෙසේ වෙතත්, තමන් නිවැරදි බව ඔවුහු පවසති.
මෙම යානයේ නියමුවා වන මිගෙල් ද එම ගුවන් සමාගමේ සම හිමිකාරීත්වයක් දක්වන්නෙකු වන අතර, ඔහු මීට වැරදිකරු වුවත් එම අනතුර හේතුවෙන් ඔහු දැනටමත් ජීවිතක්ෂයට පත්ව ඇති බැවින්, ගුවන් සමාගම වෙත වරදේ වැඩි බරක් හා වන්දි ගෙවීමක් පැටවෙනු ඇත.
යානයේ හඬ පටවල 'සම්පූර්ණ විදුලි බිඳ වැටීමක්', 'ඉන්ධන මදි' ආදී හඬ පටිගත වී ඇති නමුත්, යානය කඩා වැටෙන තුරුම එහි නියමු මිගෙල් අනතුරු ඇඟවීමේ සංඥාවක් නිකුත් කර නොතබීමද විශේෂත්වයකි.